බහු කාර්ය සංවර්ධනය සහායක-සහයිකාවන් 2400ක පිරිසක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා අන්තර් ග්‍රහණය කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
යටත් විජිත යුගයේ ඇරඹුණු මෙරට දුම්රිය සේවයේ මානව සම්පත ඉටු කරන්නේ ඉතාමත් වැදගත් මෙහෙවරක්. දුම්රිය කාර්ය සහායක ශ්‍රේණියේ නිලධාරීන් හටත් එහි විශාල වගකීමක් පැවරෙනවා.
රට තුල පවතින තත්වය තුල රාජ්‍ය සේවය උදෙසා අලුතින් බඳවා ගැනීම් නවතා තිබෙන මොහොතක උවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිලිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කර රජයේ බහුකාර්ය සංවර්ධන බලකායේ පුහුණුව ලැබූ 2400ක් සඳහා ස්ථිර පත්වීම් ලබා දී දුම්රිය සේවයට එක්කර ගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්. සුවිශාල ජාතික සේවයක වගකීමට උරදෙන දුම්රිය සේවයට එක් වීමට ලැබීම ඔබ ලැබූ භාග්‍යයක්. අලුත් අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහිතව රටට සේවය කිරීමට අවස්ථාවක් මෙන්ම කැපවීම, උනන්දුව හා උත්සාහය මත උසස්වීම් සහිත ස්ථාවරත්වයට ලඟා වීමේ අවස්ථාවද ඔබට හිමි වනවා.
රැකියාව තුල කුමන වෘත්තීය ගැටළු මතු වුවත් සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, ශිෂ්ඨ සම්පන්න ලෙස එම ගැටළු විසඳා ගැනීමේ වගකීම ඔබට පැවරෙනවා. ඒ සඳහා උපකාර කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස මමත්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පරිපාලනයත් ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටිනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව දුම්රිය කාර්ය සහායක තනතුර සඳහා බඳවා ගත් බහුකාර්ය කාර්ය සාධක බලකායේ සුදුසුකම් ලාභීන් 2400ක් සඳහා පත්වීම් ලිපි පිරිනැමීම අරලියගහ මන්දිර පරිශ්‍රයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි, දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීන්, පත්වීම්ලාභී දුම්රිය කාර්ය සහායක නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.