ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රත්මලානට ප්‍රවාහන විශ්වවිද්‍යාලයක්

    අප්‍රේල් 03, 2023

    රුසියාවේ හා බෙලාරුස් රාජ්‍ය නිල සංචාරයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම රටවල ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහාම උපාධි පිරිනැමීම උදෙසා පවත්වාගෙන යන විශ්වවිද්‍යාලවල නිරීක්ෂණයක නිරත විය.

    එම දෙරාජ්‍යයන්ගේම පවතින ප්‍රවාහන විශ්වවිද්‍යාලවල දේශීය මෙන්ම විදේශීය සිසුන් ද විශාල ප්‍රමාණයක් ප්‍රවාහන විෂය සම්බන්ධ උපාධි පාඨමාලා හදාරන බව එහි දී විශ්වවිද්‍යාල බලධාරීහු පෙන්වා දුන්හ.

    ඒ අනුව රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලය RUT (MIIT) හි උපකුලපති මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ක්ලිමොව් මහතා ඇතුළු බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම, ශාස්ත්‍රීය හුවමාරුව, විද්‍යාත්මක පර්යේෂණ, මාර්ගගත දේශන සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥයින් සඳහා පුහුණුව වැනි කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු විය.

    එමෙන්ම ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව කටයුතු කිරීම සඳහා දෙපාර්ශවයෙන්ම නියෝජනය වන ද්විපාර්ශික කමිටුවක් පිහිටුවීමට ද එකඟතාවය පළ විය.

    රත්මලාන දුම්රිය වැඩබිම් පරිශ්‍රයේ දැනට පවත්වාගෙන යන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය රුසියාවේ හා බෙලාරුස් හි ප්‍රවාහන විශ්වවිද්‍යාල හා ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ එරට විශ්වවිද්‍යාල බලධාරීන් සමග අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත්තේය.

    උසස් අධ්‍යාපනයට යොමුවන මෙරට සිසුන්ට මෙන්ම මාලදිවයින, නේපාලය ආදී අනෙකුත් දකුණු ආසියාතික රටවල සිසුන්ටද ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙමගින් සලසා දිය හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහි දී අවධාරණය කළේය.

    රුසියානු හා බෙලාරුස් ප්‍රවාහන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, අධ්‍යාපන බලධාරීන්, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya