ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා වන ද්විපාර්ශවික එකඟතා රැසක්

    අප්‍රේල් 10, 2023

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා වන ද්වි පාර්ශවික එකඟතා රැසක් - අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ඉල්ලීම් සදහා ජපානයෙන් යහපත් ප්‍රතිචාර

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සදහා බදවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකගතාවයන්ට පැමිණ තිබේ.

    සාත්තු සේවක අංශයෙන් දැනට ලැබෙන රැකියා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත් මේ වන විට ලාංකිකයින්ට විවෘත වී නොමැති ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා විවෘත කරගැනීමටත් ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍ය Katsunobu Kato මහතා සමග මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

    ඒ අනුව සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බවට අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පෙන්වා දුන් අතර ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යවරයාගෙන් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබේ. ඒ අනුව වැඩි රැකියා අපේක්ෂිතයින් පිරිසකට එම විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට එකගවී තිබේ.

    ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් සහ සුදුසුකම් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහාත් මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා එකගතාවයකට පැමිණි තිබෙන අතර ඒ සදහා වන මාර්ගෝපදේශයන් කඩිනමින් ලංකාවට ලබාදීමටත් එකගවී තිබේ.

    ජපානයේ ඔටෝ මොබිල් ක්ෂේත්‍රෙය් රැකියා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ඇති කරගත් එකගතාවය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාකාරී සැලසුම සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සහ ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය Satoshi Fujimaru මහතා අතර සාකච්ඡාවක් පැවැත්විය. ඔටෝ මොබිල් ක්ෂේත්‍රෙය් රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා වන තාක්ෂණික කරුණු එහිදී සාකච්ඡා කළ අතර කඩිනමින් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා වන ඉදිරි පියවර ගැනීමටද Satoshi Fujimaru මහතා අමාත්‍යවරයා වෙත සහතික වී ඇත.

    ජපානය හා ලංකාව අතර වන ද්වි පාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, විශේෂයෙන්ම කම්කරු ක්ෂේත්‍රෙය් වන සම්බන්ධතාවයන් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙනුත් ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපති Yoshitaka Shindo මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ආර්ථික වශයෙන් ලංකාව මුහුණදී ඇති අර්බුදකාරී අවස්ථාවේදී ජපානය ලබාදෙන සහාය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කර සිටි අතර මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට සහාය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය. ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමග ඇතිවී තිබෙන තත්වයන් පිළිබද දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් අතර එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දායකත්වය ජපාන ශ්‍රම බලකායට ලබාදිය හැකි ආකාරය ගැනද අදහස් හුවමාරු කරගත්තේය.

    විදේශ ගත ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා සදහා පැමිණීම වඩාත් පහසු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ලැබූ අතර ඒ සදහා ජපාන රජය පාර්ශවයෙන් ගනු ලබන පියවර සම්බන්ධයෙන් ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපතිවරයා අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කළේය. ජපානයේ රැකියාවක් කිරීමේදී ජපන් භාෂාව, ජපන් සංස්කෘතිය සහ හර පද්ධතීන් පිළිබදව පැහැදිළි අවභෝධයක් ලබාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ඔහු කරුණු පැහැදිලි කළේය.

    ජපානයට විදේශ ගත ශ්‍රමිකයින් බදවා ගනු ලබන ප්‍රධාන පෙලේ ආයතනයක් වන Global Workforce ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Morihiro Tada මහතා හමුවූ මනුෂ නානායක්කාර අමාත්‍යවයරයා පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය. ඒ සදහා වන අවභෝධතා ගිවිසුමකට එළඹීමටද දෙපාර්ශවය එකගතාවයකට පැමිණ තිබේ.

    පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සදහා කනමි හෝල්ඩිංස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Takanobu Osak, ජාත්‍යන්තර බදවා ගැනීම් අංශයේ ප්‍රධානී Hirokimi Kagei, ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පවත්වා ඇත.

    මෙම සාකච්ඡා සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත් මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ නීතීඥ සමින්ද ජයසේකර මහතාද එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya