ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජපන් රජයෙන් ආධාර

    අප්‍රේල් 24, 2023

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව ජීවනෝපායන් ඇතිකිරීමේ ව්‍යාපෘති දෙකක්  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි (Mizukoshi Hideaki) මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය විසින් අප්‍රේල් 24 වන දින අරලියගහ මන්දිරයේදී දියත් කරන ලදී.

    පවතින සමාජ-ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට බරපතල බලපෑම් ඇති කර තිබේ. ඉහළ යන බලශක්ති පිරිවැය සහ වර්ධනය වන දේශගුණික විපර්යාස බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වී ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, ජපාන රජය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (JSB) හරහා, වියළි කලාපීය දිස්ත්‍රික්කවල, එනම් උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත් දිස්ත්‍රික්කවල අවදානමට ලක්විය හැකි කුඩා පරිමාණ ගොවි පවුල්වලට ආධාර කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1,175ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 3.8ක්) ලබා දෙනු ඇත. කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම සහ හරිත කෘෂිකාර්මික තාක්ෂණයන් අනුගමනය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුකරනු ලැබේ.

    ජපන් පරිපූරක අයවැය (JSB)මගින් මේ සඳහා අරමුදල් සපයනු ලබන අතර, ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශවකරුවන් සමඟ එක්ව ක්‍රියා කරමින්, ව්‍යාපෘති දෙකක් හරහා එහි අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම මෙම මැදිහත්වීමෙහි අරමුණු වේ. එම අරමුණු නම්, (1) ජීවනෝපායන් විවිධාංගීකරණය කිරීම සහ ව්‍යවසායකත්ව වැඩසටහන් හඳුන්වා දීම සහ කාන්තාවන් ප්‍රමුඛ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) ඉලක්ක කරගෙන කටයුතු කිරීම සහ (2) ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකයේ පුනර්ජීවනය තුළින් නව්‍ය වෙළෙඳපොළ වෙත ප්‍රවේශය ලබාදීම ඔස්සේ බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන නවීන හරිත කෘෂිකාර්මික තාක්ෂණයන් සමඟින් අගය සහ සැපයුම් දාම වැඩිදියුණු කිරීම වේ.

    කාන්තාවන් සහ තරුණ තරුණියන් 58,000 කට මෙම ව්‍යාපෘතිවලින් සෘජුවම ප්‍රතිලාභ ලැබෙනු ඇත. එයට අමතරව, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සාමාජිකයින් 132,000 කට වැඩි පිරිසකට මෙමගින් වක්‍ර බලපෑමක් සිදුවේ.

    මෙම ව්‍යාපෘතිවල ආරම්භය සනිටුහන් කිරීම සඳහා සහ එම මැදිහත්වීම් සඳහා ජපාන රජයේ සහාය ඇගයීම සඳහා, ව්‍යාපෘති දියත් කිරීමේ උත්සවයක් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් අද දින පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදේකි මහතා, ඹභෘඡ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය, ශ්‍රී ලංකාවේ න්‍ෂක්‍් හි ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා (Tetsuya Yamada) මහතා, කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කාංචන විජේසේකර මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සංවර්ධන හවුල්කරුවෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය: “සමාජ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකා රජයේ ඇගයුමට ලක්වේ. මෙය රටේ ආර්ථිකය ගොඩනැගීමට අත්‍යවශ්‍ය අංශ දෙක වන ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් බව අපි විශ්වාස කරමු.”

    අර්බුදවලින් යථා තත්වයට පත්වීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි ජපානයේ කැපවීම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි මහතා මෙසේ ප්‍රකාශ කළේය: “ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීය සවිබල ගැන්වීම සඳහා ජපානය ශ්‍රී ලංකා රජය සහ අදාළ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී. කාන්තා, සාමය සහ ආරක්ෂාව සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ වැඩසටහන ද එයට ඇතුළත් වේ. මෙම නව ව්‍යාපෘති මගින් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ප්‍රායෝගික ක්‍රම සම්පාදනය කරනු ඇත. විශේෂයෙන්ම, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල කාන්තාවන් ගෘහ මූලිකත්වය දරන පවුල්වල විශේෂ අවශ්‍යතා අපි හඳුනා ගනිමු. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ප්‍රවීණත්වය සහ ජීවනෝපායන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහාය වීම සඳහා න්‍ෂක්‍්හි තාක්ෂණික සහාය සමඟ ධනාත්මක සහජීවනයක් ඇති කරගැනීම සඳහා එය කදිම අවස්ථාවක් වේ.”

    පාර්ශ්වකරුවන් එක්රැස් කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී එවැනි ක්‍රියාවලීන් සඳහා පහසුකම් සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින්, එම සංවිධානයෙහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය මෙසේ පැවසුවාය: “සංකීර්ණ හා අවුල් සහගත අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අපට බහු හවුල්කාරිත්වයන් හරහා බහුවිධ විසඳුම් අවශ්‍ය වේ. අද මෙහි සිටින පුළුල් පරාසයක ක්‍රියාධරයන් විසින් පෙන්නුම් කරන ලද කැපවීම් සම්බන්ධයෙන් මා කෘතඥ වෙනවා. සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සහ පීඩාවට පත් වූ කොටස්වල - විශේෂයෙන්ම කාන්තා මූලික පවුල්වල - අවශ්‍යතා විසඳීමට අපි අත්වැල් බැඳගත යුතුයි. තවද, ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් පවුල් සහ ප්‍රජාවන් සඳහා දෘශ්‍යමාන, දිගුකාලීන ප්‍රතිලාභ ලැබෙනු ඇත.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya