ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා රජය අවධානය යොමු කර තිබෙනවා

    අප්‍රේල් 29, 2023
    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බවත්, ඒ සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර තිබෙන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ , (28) පෙරවරුවේ  යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති  අඩු ආදායම්ලාභී ජනතාවට නොමිළේ සහල් බෙදාදීමේ දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. 
     
    2022/2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ හා වී තොග බැහැර කිරීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වූ අතර  යාපනය තෙලිප්පලෛයි සහ වෙලනෙයි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක විය.  ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. 
     
    අඩු ආදායම්ලාභී ජනතාව වෙත සහල් බෙදාදීම සාගල රත්නායක මහතා අතින් සිදු කෙරුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.  
     
    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත තමයි මේ සහල් කිලෝග්‍රෑම් 10ක් අඩු ආදායම්ලාභී ජනතාවට  ලබා දීමේ වැඩසටහන ආරම්භ කළේ. මෙම වැඩසටහන එක පැත්තකින් දිළිඳු ජනතාවට සහනයක්. අනික් පැත්තෙන් වී වගා කරන ගොවියන්ට තම අස්වැන්නට සඳහා නියම මිලක් ලබා ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම කුඩා වී මෝල් හිමියන්ටත් ‍මෙම වැඩපිළිවෙළ  ශක්තියක් බව කිවයුතුයි. මෙම සහල් ලබාදීමේ කටයුත්තෙහි පළමු අදියර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ආරම්භ කිරීමට පියවර ගත්තා.
     
    එහි දෙවන අදියර අද මේ ආකාරයට යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. අද මේ වැඩසටහනේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි යුද හමුදාව ද  තම රාජකාරී කටයුතු කරන අතරතුර කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළක ද නිරතව සිටිනවා. ඒ වැඩපිළිවෙළින් ලබා ගත් අස්වැන්නෙන් වැය වූ මුදල ගෙන, ඉතිරිය දිළිඳු ජනතා අතර බෙදාදීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.
     
    ජනාධිපතිතුමාගේ අරමුණ වුනේ එහි පළමු වැඩසටහන  යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමටයි. 
    එනිසා අද දින ඔබට මෙම සහල් ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් මම යුද හමුදාවටත්, ගුවන් සහ නාවික හමුදාවටත්, පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා. 
     
     
     
    යුද සමයෙන් පසු අපේ රටේ ඇති වූ දුෂ්කරකම කාලවකවානුව පැමිණියේ පසුගිය වසර කිහිපය තුළයි. එහි දී අප පළමුව කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. ඉන් පසුව ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. ඒ ආර්ථික අර්බුදයත් සමග ජන අරගලයකටත් මුහුණ දීමට සිදු වුණා. 
     
    ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් හිඟයක් ඇතිවුණා. විදුලිය කප්පාදු කිරීමටත් සිදු වුණා. එම අවස්ථාවේ උතුර, දකුණ කියා වෙනසක් නැතිව සියලු ජනතාව මෙම ප්‍රශ්නවලට මුහුණ දුන්නා. 
     
    ඒ අවස්ථාවේදී එම ප්‍රශ්නවලට මුහුණ දීමේ වගකීම  ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගත්තා. ඒ වන විට රටේ රුපියල් මෙන්ම ඩොලර් තිබුණෙත් නැහැ. රටේ ආර්ථික ක්‍රියාවලිය කඩාවැටී තිබුණා. එම සියලු ප්‍රශ්න නිසා විදේශ විනිමය ආදායමත් අපට අහිමිවයි තිබුණේ. 
    සංචාරකයන් පැමිණියෙත් නැහැ. කර්මාන්ත කරගෙන යාමට විදුලිය තිබුණෙත් නැහැ. 
    ප්‍රවාහනය කඩාවැටුණා. 
     
    එදා රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්න විට රාජ්‍ය සේවක වැටුප් පවා ‍ගෙවාගත නොහැකි තත්ත්වයකයි රට තිබුණේ. තව දින දහයක් ගියා නම්  රට සම්පූර්ණයෙන්ම නතර වෙනවා. අපි දූපත් රාජ්‍යයක්. අපට දේශසීමා පැන වෙනත් රටවලට යාමට හැකියාවක් නැහැ.කොහෙන් හෝ ආහාර ගෙන ඒමටත් හැකියාවක් නැහැ. 
     
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකත්වයට පත්ව දින කිහිපයක් යාමට පෙර 
    රටේ නීතිය හා සාමය ස්ථාපිත කළා. ඒ වගේම පැවති ප්‍රශ්න එකින් එක විසඳන්න පටන් ගත්තා. මූලික වශයෙන්ම ගෑස්, ආහාර, ඉන්ධන ලබා දෙන්නටත් කටයුතු කළා. ඒ සමගම රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය පියවර ගත්තා. 
     
    රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට ආවේ රටේ තිබෙන ආර්ථික අර්බුදය නිසයි. ඒ ගිවිසුම ඇති කර ගැනීම පහසු කටයුත්තක් වුණේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකිව සිටින ආර්ථික අර්බුදයකට ලක් වූ රටවල් තවත් තිබෙනවා. 
     
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමට එළැඹීමට නම් පළමුව ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්න අවශ්‍ය වුණා.  ඒ විශ්වාසය ඇති කරගත්  නිසා ජාත්‍යන්තරය දැන් අප සමඟ කටයුතු කරමින් සිටිනවා. විදේශිකයන් අපේ රටට පැමිණෙමින් සිටිනවා. රට ක්‍රමයෙන් ස්ථාවර වෙමින්පවතිනවා. 
     
    පිටුපසට අඩියක් නොතබා ඉදිරියට යෑමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.  නිවැරදි ලෙස රට පාලනය කිරීමේ පසුබිම ජනාධිපතිතුමා දැන් සකස් කර තිබෙනවා. 
     
    ඒ වගේම උතුරු ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය හා  සංචාරක කර්මාන්තය දියුණු කර ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීමේ වැඩපිළිවෙළක් දැන් සකස් කරමින් සිටිනවා. 
    සංහිඳියාව ගැන දීර්ඝ කාලයක් තිස්සේ කතා කළා. දැන් සංහිඳියාව ගැන කතා කළා ඇති. දැන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතු කාලය එළැඹ තිබෙනවා. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට අවශ්‍යයි.  රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවගේ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ගොඩනඟනවා. 
     
    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා 
     
    ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ දහය බැගින් ලබාදීමට තීරණය කළා. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කිසිදු ජාති ආගම් බේදයකින් තොරවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගොවීන්ගේ වී වලට සහතික මිලක් ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගෙන තිබෙනවා. 
     
    රට දැඩි අර්බුදයකට ලක්වූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩගන්න කටයුතු කිරීමේ වගකීම භාර ගැනීම පිළිබදව සමස්ත ජනතාවගේ ස්තුතිය හිමි විය යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ එක්ව කටයුතු කිරීමට එකතු වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
     
    සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පස්කුවල් මහතා -
     
    දැවැන්ත ආර්ථික අර්බුදයක් රට තුළ පවතින අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ  මහතා ජනාධිපති ධූරය භාර ගත්තේ. රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දුන් නිසා ආර්ථිකය යහපත් අතට ගෙන ඒමට හැකි වී තිබෙනවා. ඒ වගේම ඒ කාලයේ යාපනේ ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළා.  සමෘද්ධිලාභී පවුල් විතරක් නෙවෙයි දිළිඳු පවුල්වල්ට අවුරුද්දට සහ අවුරුද්දට පසුව සහල් ලබාදීමට ජනාධිපතිතුමා තීන්දු කළා. 
     
    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ස්වර්ණ බෝතොට‍ යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya