ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය එළි දකී.

    මැයි 03, 2023

    ශ්‍රී ලංකාවේ දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය (2021 -2030) එළිදැක්වීම අද (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා මෙම "ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" සම්පාදනය කර ඇත. මෙරට ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ප්‍රථමවරට සකසනු ලැබුවේ 1986 වසරේ දී වන අතර, වරින් වර සංශෝධන කිහිපයක් එයට එක් කර තිබේ. මෙය 2010 වසරේ නිකුත් කල ජාතික පෝෂණ ප්‍රතිපත්තියේ සංශෝධිත පිටපත වන අතර, එය 2020 - 2030 දශකය සඳහා යෝජිත ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ග වලින් මෙය සමන්විතය.

    මෙම සංශෝධිත ප්‍රතිපත්තිය, සියලුම බහු ආංශික සහයෝගිතාවයෙන් සහ හවුල්කාරිත්වයෙන් සම්පාදනය කර ඇත. එහෙත් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ තත්ත්වය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමටත්, ආහාර සුරක්ෂිතතාවය සුරැකීමටත්, ආරක්ෂිත ආහාර සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා වූ නීතිමය රාමුව ශක්තිමත් කිරීමටත්, සදාචාර විරෝධී අලෙවිකරණය වැළැක්වීමටත්, හදිසි අවස්ථා වලදී පෝෂණ ප්‍රවර්ධනය ඇතුළුව සෑම අවස්ථාවකදී ම ආරක්‍ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය පිණිස අත්‍යාවශ්‍ය උපායමාර්ගික සැළැසුම් හා ප්‍රතිපත්ති වලින් සමන්විත වේ.

    ජාතික පෝෂණ සභාව, ජාතික පෝෂණ ලේකම් කාර්යාලය, පෝෂණය පිළිබද ව වූ ජාතික මෙහෙයුම් කමිටුව, තාක්ෂණික උපදේශක කමිටුව, අමාත්‍යාංශ මෙහෙයුම් කමිටු, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු වැනි බහු ආංශික සම්බන්ධීකරණ ව්‍යුහයන් මගින් ජාතික, පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශිය මට්ටමින් බහු ආංශික පෝෂණ ක්‍රියාකාරී සැළැස්ම ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා :- වසර 2030 වන විට රටේ පෝෂණ ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි අවධානම් තත්ත්වයන් සදහා පියවර ගත යුතු අත්‍යාවශ්‍ය මොහොතක මෙවැනි පෝෂණ ප්‍රතිපත්තියක් රට පුරා ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් බව පැවැසීය. එය රටේ අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් බවත් මෙහිදී කීය. ලොව ඉතා සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් මෙවැනි ආකාරයට මැදිහත්ව ඇති බව ද ඒ අතරට ශ්‍රී ලංකාව එක්වීම රටට ආඩම්බරයක් යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ ආර්ථික අර්බුදය හමුවේ ඇති වූ තත්ත්වය සැළැකිල්ලට ගනිමින් මෙවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීම ඉතා වැදගත් බවත්, එමෙන්ම විවිධ කාණ්ඩ යටතේ වෙන් වෙන්ව ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හදුන්වාදීම මේ තුළ ඉතා වැදගත් බවත් පැවැසීය. විශේෂයෙන් ළදරුවන්, ගර්භනී මාතාවන්, කිරිදෙන මව්වරුන්, අඩුආදායම්ලාභී පවුල් පිළිබදව වැඩි අවධානයක් යොමු කර තිබීම ද අතිශය වැදගත් බව ඒ මහතා කීය.

    මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය රටකට පෝෂණය සම්බන්ධ ප්‍රතිපත්තිය මාර්ගෝපදේශ වැදගත් බවත්, ඊටත් වඩා වැදගත් වන්නේ ප්‍රායෝගිකව ‌මෙය ක්‍රියාත්මක කළ යුතු බහුපාර්ශ්වීය ක්‍රියාකාරී සැළැස්ම බිමි මට්ටමට ගෙන යන ආකාරය බව ප්‍රකාශ කළාය. එමෙන්ම ආර්ථික ව්‍යසන වැනි කුමන හෝ අඩුපාඩුවක් පැමිණි විගස මන්දපෝෂණය වැනි කරුණු පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇගිල්ල දිගු කරන බවත්, එය එසේ නොවිය යුතු බවත්, පෝෂණය සෞඛ්‍ය අංශයේම පමණක් වගකීමක් නොවන බව ද එය සියළු දෙනාගේම වගකීමක් බව ද ප්‍රකාශ කළාය. දකුණු ආසියානු කළාපයම ගත් කළ විශේෂයෙන්ම වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ පෝෂණය සහ බර පරීක්ෂා කර එමගින් නොනැවතී පෝෂණ අතිරේකයක් ලබාදෙන කළාපයේ එකම රට ශ්‍රී ලංකාව බව ද ප්‍රකාශ කළාය.

    මෙහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා II) වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය විසින් පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා සම්පාදනය කරන ලද "ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙත ලබාදීම සිදු කළාය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජනාධිපති උපදේශක වෛද්‍ය බී.එම්.එස් බටගොඩ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා II) වෛද්‍ය සුසී පෙරේරා, අධ්‍යක්ෂ පෝෂණ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya