ජනවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පාසලේ ක්‍රිකට් නැතත් ක්‍රිකට් හීන සැබෑ කරන විශේෂ වැඩසටහනක්

    මැයි 23, 2023

    ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී නොවන පාසල්වල දරුවන්ගේ ක්‍රිකට් හීන සැබෑ කිරීමේ අරමුණින් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක "අරමුණ 2023 " විශේෂ ක්‍රීඩා වැඩසටහන 2023 මැයි 20 වන දා මතුගම මහජන ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සමාරම්භය සනිටුහන් කළේය. 

     

    කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල්වල දරුවන්ගෙ ක්‍රීඩා කුසලතා සොයා බලා "අරමුණ 2023" ඔස්සේ පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහනට එම දරුවන් එකතු කර ගැනීම මෙම වැඩසටහන මගින් සිදුවේ. 

    රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධීක්ෂණය සහ සම්පත් දායකත්වය යටතේ පියල් නිශාන්ත තරුණ පදනම මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. කළුතර දිස්ත්‍රීක්කයේ පාසල් රැසකින් තමා වෙත ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කළ බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා එහි දී කියා සිටියේය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව කිරීමට සිහින දකින සෑම දරුවෙකුටම ඒ සඳහා අවකාශය උදා කර දීම බලධාරීන්ගේ වගකීම බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ස්තුතියක් පිරිනැමීමටද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා  මහතා මෙහිදී කටයුතු කළේය.

    අරමුණ 2023 වැඩසටහන මැයි මාසය පුරා කළුතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි තෝරාගත් ක්‍රීඩාංගන කිහිපයක් පදනම් කරගෙන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. එම වැඩසටහනට සම්බන්ධ වන සියලු දරුවන්ට, එදින සැසියට ක්‍රීඩා කිරීම සඳහා සියලු ක්‍රීඩා භාණ්ඩ සහ පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයනු ලබයි. ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ පුහුණුකරුවන් පිරිසක් මෙම වැඩසටහන සෘජුව අධීක්ෂණය කරන අතර විශේෂ දක්ශතා ඇති දරුවන් හඳුනා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටී.

    මතුගම දී ආරම්භ වූ වැඩසටහන සඳහා මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය පාසල් සම්බන්ධීකරණ දායකත්වය සැපයීය. දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සහ කලාප ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් ද සහභාගී විය.

    ඒ අනුව සමාරම්භක වැඩසටහන සඳහා බොන්දුපිටිය ශ්‍රී දීපාරාම මහා විහාරය කැප්පෙටිය ගහලන්ද ප්‍රදීපාරාම විහාරය යන උභය මහා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ ගරු කාරක සංඝ සභික ප්‍රධානාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝභන, ත්‍රිපිටක ධර්මවේදී, පූජ්‍ය බොන්දුපිටිය සුමනවංශ නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන අංශය නියෝජනය කරමින් මොරිස් ඩෙලා සිල්වා මහතා ඇතුළු විනිසුරුවරුන්, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රේම විජේතුංග මහත්මිය ඇතුළු අධ්‍යක්ෂවරුන්, මතුගම පොලිස් අධිකාරී ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, මතුගම හා දොඩන්ගොඩ හිටපු ප්‍රාදේශීය සභා ගරු සභාපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya