ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    වැසි තතත්වයත් සමග ඩෙංගු රෝගය වැඩිවන අවධානමක්

    ජූනි 07, 2023

    වැසි තතත්වයත් සමග ඩෙංගු රෝගය වැඩිවන අවධානමක්- ඩෙංගු රෝගීන් 41,581ක්.. - ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි

    මේ දින වල පවත්නා වර්ෂා තත්ත්වයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියෙහි වැඩි වීමක් ඉදිරියේදී දක්නට හැකි බවද මේ වන විට ලංකාවෙන් ඩෙංගු රෝගීන් 41,581ක් වාර්තා වී ඇතැයිද ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසයි.

    ඇය මේ බව සඳහන් කළේ අද (07) ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    සතිපතා ක්‍රම ක්‍රමයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් 49%ක් පමණ වාර්තා වීඇතැයිද තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් 10%ට වඩා අඩුවන් වාර්තා වී ඇති බවද වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

    නුවර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල යනාදී දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කිහිපයක පමණක් ඩෙංගු අවදානම පවතින බව කියාසිටි - ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය ඒවායෙහි ඩෙංගු මර්දන කටයුතු සිදුකරමින් පවතින බවද අවධාරණය කළාය.

    බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ සියල්ලක්ම පාහේ ඩෙංගු රෝග ව්‍යාප්තියට මුහුණපා ඇතැයිද පසුගිය ඉරිදායින් අවසන් වූ මෙම වසරේ 22 වන සතිය තුළදී ඩෙංගු රෝගීන් 507ක් වාර්තා වී ඇතැයිද සඳහන් කළාය.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් සතිපතා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වන අගය ඉහළ ගොස් ඇතැයිද මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 67ක් හඳුනාගෙන ඇතැයිද පැවසුවාය.

    අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර, කෑගල්ල, රත්නපුර,ගාල්ල, පොළොන්නරුවෙහි තමන්කඩුව සෙූඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය, නුවර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව ආදියෙහි රෝගීන් වැඩිවීමට පටන්ගෙන ඇතැයිද එලෙස අවධානම් ප්‍රදේශ හඳුනාගනිමින් විශේෂ ඩෙංගු මර්දන කාල වකවානු තීරණය කරන බවද පැවසුවාය.

    වයස අවුරුදු 05 සිට 19 දක්වා එනම් පාසල් යන වයස් කාණ්ඩයේ දරුවන් අතර ඩෙංගු රෝගීන් 25%ක් පමණ වාර්තා වන බවද, වයස අවුරුදු 20 – 60 අතර වයස් කාණ්ඩයේ රෝගීන් 62%ක් පමණ වාර්තා වන බවද කියා සිටියාය.

    ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩි වන විට රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා ප්‍රමාණයද ඉහළ යන බව අවධාරණය කළ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම මෙන්ම මදුරු දෂ්ඨනයෙන් වැළකීමද ඉතාම අවශ්‍ය බව පැවසුවාය.

    සතියකට දවසක් අනිවාර්යයෙන් ඩෙංගු බෝ වන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya