ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    දේශීය භාණ්ඩ 7000 කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට අවස්ථාව - වෙළඳ අමාත්‍ය

    ජූනි 13, 2023

    එක්සත් රාජධානියේ නව ජීඑස්පී වෙළෙඳ යෝජනා ක්‍රමය (New UK GSP Scheme) “Developing Countries Trading Scheme (DCTS)” නිසා භාණ්ඩ 7000 කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එරට වෙළෙඳපොළ වෙත අපනයනය කිරීමට මෙරට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව හිමිවන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    තීන්ත කර්මාන්තය හා ටයිල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සමාගම්හි විධායක නිළධාරීන් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාන්තයන් නැවත යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (12) පවත්වනු ලැබූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

    පසුගියදා පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළෙඳ අමාත්‍යවරුන්ගේ හමුව සඳහා එක්සත් රාජධානියේ නිළ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා, ඉදිරියේදී එක්සත් රාජධානියේ “Developing Countries Trading Scheme (DCTS)” නව ජීඑස්පී වෙළෙඳ යෝජනා ක්‍රමය  නිසා  දේශීය භාණ්ඩ 7000 කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට හැකි බවද, බංගලාදේශය සමඟ වෙළෙඳ ගිවිසුම හරහාද මෙරට නිෂ්පාදකයන් සඳහා පුළුල් අවස්ථාවන් රාශියක් උදා වන බවත් එම වාසිදායක අවස්ථාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගැනීම තුළින් සිය ව්‍යාපාරයද රටද දියුණු කර ගැනීම උදෙසා කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කරන ලදී. එම ව්‍යාපාරික අවස්ථාවන් පිළිබදව
    දේශීය නිෂ්පාදකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලෙසට ලෙසට වාණිජ දෙපාර්තමේන්තු නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ මිල ගණන් ඩොලරයේ වෙනස්වීමට සාපේක්ෂව සැළකිය යුතු අන්දමින් පහළ ගියද දේශීය නිෂ්පාදන කර්මාන්තයන්හි මිල ගණන් අඩු නොවීම ගැටලුවක් බවයි. රජය මගින් දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීම වෙනුවෙන් ආනයනයන් සීමා කළද, ඉන් අයුතු ප්‍රයෝජන ගෙන අනවශ්‍යය ලෙස අතිවිශාල ලාභ ලබා ගැනීමට හෝ පසුගිය අර්බුධ සමයේ ලැබූ අලාභ පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරමින් යලි පියවා ගැනීමට උත්සහ නොදැරිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

    මේ වන විට රජය මගින් IMF ණය පහසුකම ලබා ගැනීම, ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම,උද්ධමනය ප්‍රතිශතයක් ලෙස තනි අගයක් කරා ගෙන ඒම හා බැංකු පොළී අනුපාත පහත දැමීම ආදී ආර්ථික අවපාත තත්ත්වයෙන් මිදීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් පවතින අතර,ඒ සඳහා නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයන් ආශ්‍රිතවද යළි පිබිදීමක් ඇති කිරීම වෙනුවෙන් එම නිෂ්පාදනයන්හි මිල ගණන් පහත හෙළිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී. රජය විසින් සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී තවත් ප්‍රමුඛ ක්ෂේත්‍රයන් පවතිත්දීත් රුපියල් බිලියන 225ක මුදලක් කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දුන්නේ රට තුළ යළි මුදල් සංසරණය වේගවත් කිරීම තුළින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරිම සඳහා බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

    යම් භාණ්ඩයක් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවූ පසු එම මිලටම එම භාණ්ඩය අලෙවි කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා එම උපරිම මිල සාධාරණීකරණය කිරීම වෙනුවෙන් අදාළ ආයතනය සතුව ඊට අදාළ ලියකියවිලි පැවතිය යුතු බවත්, අවශ්‍යතාවයකදී ඒවා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කරන ලදී.ඉදිරි වසර 5ක කාළය තුළ රජය මහා පරිමාණයේ ඉදිකිරීම් ආශ්‍රිත ව්‍යාපෘති දියත් නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා පවතින ආර්ථික තත්ත්වය යටතේ නිසි ප්‍රයෝජනයක් නොමැති එවැනි ව්‍යාපෘති කිහිපයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත නවතා දැමූ බවද සඳහන් කරන ලදී. ඒ අනුව සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ, අඩු පිරිවැය සහිත අමුද්‍රව්‍ය තුළින් සිදු කරන ඉදිකිරීම් සුළභ කිරීමටත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය යොමු විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු, අමාත්‍යාංශ නිළධාරීන්,පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් හා දිවයිනේ තීන්ත නිෂ්පාදන හා ටයිල් නිෂ්පාදන සමාගම්හි ප්‍රධාන විධායක නිළධාරීන් පිරිසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya