ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සංහිඳියාව ගොඩ නැගීම සඳහා මෙරට ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි- අධිකරණ අමාත්‍ය

    ජූනි 16, 2023

    ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමට කලාව මෙවලමක් බවත් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කිරීම කලාව තුළින් සිදු කළ හැකි බවත් සංහිඳියාව ගොඩ නැගීම සඳහා මෙරට ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    සියලු ජාතීන් අතර, සංස්කෘතිකමය සංහිදියාව තහවුරු කිරීම උදෙසා සෑම පලාත්, දිස්ත්‍රික්, හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සම්භාව්‍ය සිනමා කෘතියක් ප්‍රදර්ශනය කර ඒ පිළිබදව විද්වත් කථිකාවක් ගොඩ නැගීම වෙනුවෙන් (15) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සම්භාව්‍ය සිනමා කෘතියක් ප්‍රදර්ශනය කර ඒ පිළිබදව විද්වත් කථාකාවක් ගොඩ නැගීමේ වැඩසටහන සෑම මසකම පැවැත්වෙන අතර සමාරම්භක උත්සවය වෙනුවෙන් කළු- සුදු වාර්ගික ගැටුම් සමනය කළ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ සමාජ දර්ශනය අළලා නිර්මාණය කර ඇති INVICTUS සිනමා පටය තිරගත කර ඇත.

    එහිදී වැඩිදුරටත් දැක්වූ අමාත්‍යවරයා;
    "ජාතික ඒකාබද්ධතාවය ආරක්ෂා කරන්න ඕනෑ තරම් අණ පනත් තිබෙනවා. මේ ඔක්කොම තිබුණත් අපේ රට වරින් වර ලේ ගංලගාවලින් පිරෙනවා. 1971 දොළොස් දහසක් මැරුණා. 1989 හැට දහසක් මැරුණා. උතුරු නැගෙනහිර යුද්ධය නිසා තවත් හැට දහසක් ඝාතනය වුණා. අපිට අනාගතයක් ගැන සිහිනයක් දකින්න පුළුවන් ද, මෙවැනි සංස්කෘතියක් පවතින රටක් තුළ අපි ආර්ථිකය සංවර්ධනය කළත්, නීතියේ ප්‍රතිසංස්කරණ සිදු කළත්, රටේ ජනතාවගේ අනාගත පරම්පරාවේ දරුවන්ගේ ජීවිතවලට කිසි සහතිකයක් නැහැ. අපි මේ සියල්ල කරන අතරේ රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕන .එහෙම නැතිව වැඩක් නැහැ. අපිට හැගීමක් තියෙන්න ඕන. මේ අපේ රටේ ජනතාව. මේ ඉන්නේ අපේ සහෝදරයින් මේ අපේ දරුවෙක් කියලා හිතන්න ඕන. අපි ඒ හැගීම ඇති කර ගන්න තෙක් අපේ රටේ ජනතාවගේ ජීවිතවලට සුරක්ෂිත බවක් පිළිබදව සිතන්න බැහැ.
    අපේ රටේ මිනිස්සු විවිධ ආකාරයෙන් බෙදිලා. සිංහල , දෙමළ , මුස්ලිම් වශයෙන් බෙදිලා. ශ්‍රී ලංකා, යූ.එන්.පී, ජේ.වී.පී. වශයෙන් බෙදිලා. සංස්කෘතික වශයෙන් බෙදිලා. ඇයි අපි මේ ආකාරෙන් බෙදි ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ඕන ජනතාව බෙදන්නද . ප්‍රජාතන්ත්‍රවාදයේ සරළම අර්ථ නිරූපණය කියන්නේ විවිධත්වය තුළින් ඒකමතිකභාවයට පැමිණිමයි. අපි කරන්නේ එයින් පරිභාහිර දේවල් කිරීමයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව පැය 24 ම කතා කරනවා. සංහිදියාව ගොඩ නගන්න, අපි මේ රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුමයි. අපේ අසල්වැසි රට ඉන්දියාවයි. එහි ජාතික භාෂා 22 ක් කථා කරනවා. ප්‍රාදේශිය භාෂා 1640 ක් පමණ කතා කරනවා. භාෂා 200 කින් පමණ පුවත් පත් මුද්‍රණය වෙනවා. ඉන්දියාව අපිට ආදර්ශයක්. ඒ රටේ ජනතාව කියන්නේ මම ඉන්දියානුවෙක් කියලා. නමුත් අපේ රටේ බොහොමයක් අය මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න කැමති නැහැ. මම සිංහල දෙමළ මුස්ලිම් කියයි .අපි තමන්ගේ මව් රට පිළිබදව ආඩම්බරයෙන් කථා කළ යුතුයි. ඒ ආකල්පය අපි පෙර පාසලේ සිට ඇති කරන්න ඕන. ඒක අපේ රටේ වෙන්නේ නැහැ.අධ්‍යාපන බලධාරීන්ට මේක කොයිතරම් කිවුවත් තේරෙන්නේ නැහැ. තේරුම්ගියත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ජාතික ඒකාබද්ධතාවය ඇති කරන්න කලාව හොද ආම්පන්නයක්. කලාව තුළින් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කිරීමේ ලොකු හැකියාවක් තිබෙනවා. අපි මෙහි මුලික වැඩ පිළිවෙළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. අද රටේම ව්‍යාප්ත වෙන තත්වයට අපි වැඩ සටහන ගෙනත් තිබෙනවා. මේ තුළින් අපි විශ්වාස කරනවා ඒකාබද්ධතාවය නමට පමණක් සීමා නොවී යථාර්ථයක් බවට පත් කරන්න හැකි වෙයි කියලා. අපි තවත් ජන කොටසක් කෙරෙහි වෛරයෙන් බලනවා තරහින් බලනවා නම් අපිට මේ රටේ සාමයක් ඇති කරන්න අපහසුයි. ඒ නිසාම අපි සියලු දෙනා පිළිබදව එකම හැගීමකින් යුතුව කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
    අධිකරණ අමාත්‍යාංශයේ පැවැති චිත්‍රපටි ප්‍රදර්ශන සමාරම්භක උත්සවයට සමගාමීව ගරු ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, සංස්කෘතික අධ්‍යක්ෂවරුන්, ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සෑම පළාත් ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම උත්සවයක් පැවති අතර, INVICTUS චිත්‍රපටය ප්‍රදර්ශනය අවසානයේ ඒ පිළිබදව විචාර දේශනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් මහතා සිදු කර තිබේ.
    අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සෑම මසකම තුන්වන සතියේ බ්‍රහස්පතින්දා දින පෙරවරු 9.30 ට ආරම්භ වන අතර, ඊට සමගාමීව පැවැත්වෙන විද්වත් කතිකාව Zoom යෙදවුම ඔස්සේ පැවැත්වෙයි.
    මෙම අවස්ථාවට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුලු අධිකරණ අමාත්‍යාංශයේ හා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ නිලධාරීන් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya