වැවිලි කර්මාන්ත අමාත්‍ය (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
රජය විසින් පවරාදීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ වතු සමාගම් අද වන විට තේ, රබර් ආදී භෝග වගාවන්ට වඩා වෙනත් කර්මාන්ත කෙරෙහි උනන්දු වන බවත්, ඔවුන් වතු නිසි ලෙස නඩත්තු නොකරන බවත්, සේවකයන්ගේ සුබසාධන පහසුකම් පිළිබදඋනන්දු නොවන බවත් මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ. එවැනි වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සදහා රජය සතු නිසි යාන්ත්‍රණයක් නොමැති වීම ගැටලුවක් බවත් මෙහිදී සාකච්ඡා විය.
මෙම විශාල වතු සමාගම් කම්කරුවන්ට ඉතා සුළු වැටුපක් ගෙවන බවත් ඇතැම් වතුවල මූලික පහසුකම් පවා ලබා නොදෙන බවත් මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළහ. ඉතා දුර්වල බදු ගිවිසුම් යටතේ මෙම වතු පෞද්ගලික අංශයට පවරා දී ඇති බැවින් මෙම වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම අපහසුවී ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
මෙම සමාගම් බොහෝමයක් යටිතල පහසුකම් සංවර්ධනය නොකරන බවත් විශේෂයෙන් තේ වගාව සිදු කරන ඇතැම් සමාගම් ඉන් ඈත්වී ඇති බවටත් නිරීක්ෂණය වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එවැනි සමාගම් යටතේ පවතින හෙක්ටයාර් විශාල ප්‍රමාණයක් වගාවකින් තොරව භාවිතයට නොගත් ඉඩම් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් ගැටලු විසදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පොල් වැනි වැවිලි භෝගවල දක්නට ලැබෙන ගැටලු සහ පළිබෝධකයන්ගෙන් සිදුවන බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. පළිබෝධ උවදුර හේතුවෙන් නතර කර තිබූ මාතර දිස්ත්‍රික්කයේ පොල් වගාව යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ සඳහා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වී. රාධක්‍රිෂ්ණන්, එම්. රාමේෂ්වරන්, වීරසුමන වීරසිංහ සහ උදයකාන්ත ගුණතිලක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.