අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වයන් විසඳිමේ බලය ග්‍රාමීය කමිටුවලට පැවරිය යුතු බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිවිය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම යෝජනාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර අනෙකුත් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරවීමට තමන් කඩිනමින් කටයුතු කරන බවයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ පසුගිය
සිකුරාදා (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙලේ ලකුණු දීමේ වැඩපිළිවෙළ ගැන අදාළ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරලා ක්‍රමවේදයක් හදන්න. ලකුණු දෙන විදිය ගැසට් වෙලා තියෙන්නේ.සාමාන්‍යයෙන් අස්වැසුමේ පැමිණිලි තියෙන්නේ සියයට 20ට විතරයි. මට තේරෙන විදියට හැම දිස්ත්‍රික්කයකම තත්ත්වය ඕකයි. අගමැතිතුමා අභියාචනා භාරගන්නා කාලයත් දිගු කළා. ගමේ මිනිස්සුන්ට සිස්ටම් එකකට ලොග්වෙලා මේවා කරන්න අමාරුයි. ඒ නිසා සමහර තැන්වල සංවර්ධන නිළධාරින් මැදිහත් වෙලා මේ වැඩපිළිවෙළ සිදු වෙනවා. නමුත් මිනිස්සු රස්තියාදු වෙනවා.
මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න වගකීම පැවරුනේ දිසාපතිවරුන්ට. දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට වගකීම පැවරුවා. මම හිතන්නේ අභියාචනා විමර්ශනය කිරීමේ බලය ලිඛිතවම ග්‍රාමීය කමිටුවලට පැවරුවා නම් හොඳයි. වඩා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමේ වගකීම ග්‍රාමීය කමිටුවලට පවරමු. අපි ඒ යෝජනාව අමාත්‍යංශයට අරිමු. ඒක චක්‍රලේඛයක් මගින් ප්‍රකාශ කරන්න කියලා. මේකට දේශපාලන සම්බන්ධයක් නෑනේ.
රජයේ වැඩපිළිවෙළක් නිළධාරින්ට කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. මිනිස්සු අවුස්සලා පාරට දාන්නේ නිළධාරින්මයි. කරන්නේ නැත්නම් අත්‍යාවශ්‍ය සේවාවක් කරනවද නැද්ද කියලා රජය තීන්දු කරාවි.
මේ වැඩපිළිවෙළට පළවෙනි වතාවේ සමෟද්ධි නිළධාරින් ආවේ නැහැ. ඒ වෙලාවේ අපිත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. සමෟද්ධිය ලබන අයගෙන් සියයට 30,40ක් ඉන්නේ නුසුදුස්සන් කියලා අයි.එම්.එෆ් එකත් කියනවා. ඒක අපිත් කියනවා. ඒක නිවරදි වෙන්න ඕන. සමහර සමෟද්ධි නිළධාරින් ණය අරගෙන තියෙනවා ප්‍රතිලාභීන්ගේ නමට. මිනිස්සු කුලප්පු කරවලා විරෝධතා කරවන්නේ ඒ අය. එයාලට ඕන මේක අසාර්ථකයි කියලා පෙන්වන්න. සිස්ටම් චේන්ජ් කියන්නේ ඕක නෙවෙයි. මම යෝජනා කරන්නේම මේ වැඩපිළිවෙළ ග්‍රාමීය කමිටුවලට පවරන්න කියලයි. අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් අරගෙන නෑ. අපි බලන්න ඕන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක විරෝධතා කියද, අභියාචනා කියද කියලා.
විරෝධතා ප්‍රමාණය සියයට පහකට වගේ ගේන්න පුළුවන් නම් මිනිස්සු සෑහීමකට පත්වෙලා කියලා අපි හිතන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම්වරුන් ගම් මට්ටමින් මේ ගැන මිනිස්සු දැනවත් කරන්න. සමහරු සංවිධානාත්මක බොරු කියලා මිනිස්සු අවුස්සනවා. ආණ්ඩු විරෝධීන් මිනිස්සු පාරට බස්සන ක්‍රම හොයනවා. මේවා ගැන පොලීසියත් බුද්ධි අංශ දම්මලා හොයන්න ඕන. වෘත්තීය සමිති කරන දේවල්වලට ආණ්ඩුවට බණින්න එපා. අපි අපේ දිස්ත්‍රික්කයට ආවේණික යෝජනා ඉදිරිපත් කරන්න.
රාජ්‍ය නිළධාරින් සම්බන්ධීකරණ කමිටුවට එනකොට හරියට තොරතුරු දැනගෙන එන්න. ව්‍යාපෘති වාර්තා නිළධාරින්ට යැව්වට වැඩක් නෑ. එතනින් එහාට වුනේ මොනවද කියලා පසුවිපරමක් කරන්න. සම්බන්ධීකරණ කමිටුවට ඇවිල්ලා ඇඟ බේරගන්න උත්තර දෙන්න එපා. නිකරුණේ වෙලාව නාස්ති කරන එක අපරාධයක්.
ඒ වගේම හිස් ඉඩම් අලුතින් බැහැර කිරීමට ක්‍රමවේදයක් හදනතුරු ඒක නතර කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. ඔප්පු නැතුව දීර්ඝ කාලීනව ඉඩම්වල පදිංචිවෙලා ඉන්න අයට ඔප්පු දීම ජනාධිපතිතුමාගේ සංඛල්පයක්. ඒ නිසා ඒ වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරන්න.
ඉඩම් ඔප්පු දෙන්න එපා කියලා තියෙන්නේ මහා පරිමාණ ඉඩම්වලට හා වාණිජමය වටිනාකමක් සහිත ඉඩම්වලට විතරයි. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ඉඩම් ඔප්පු දෙන එක නතර කරන්න එපා. පොඩි ඉඩම්වලට ඔප්පු දෙනකොට ප්‍රශ්න ඇතිවෙලා තිබේ නම් ලේඛනය ජනාධිපති ලේකම් කාර්යාලයට යවලා අනුමැතිය ලබා ගන්න.
බස්නාහිර පළාතේ පාසල්වල ''අපේ පාසල - අපේ දෑතින් සුරකිමු'' ව්‍යාපෘතිය අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩුවේදී පටන්ගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ ගැන මම ආණ්ඩුකාරතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සෘජු ව්‍යාපෘතිවලට වඩා පොදු ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන වෙන්කරන් ඕන කියලා අපි ආණ්ඩුකාරතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයකට ආවා. මොකද අපිට තියෙන්නේ සීමිත මුදල් ප්‍රමාණයක්. වෘත්තීය පුහුණු, කාන්තාවන් සඳහා වැඩසටහන්, දහම් පාසල් සංවර්ධනය වැඩසටහන් කරන්නත් ඕන. ඒ සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමඟ සාකච්ඡා කරලා වැඩසටහනක් හදන්න. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට පුළුවන් තරම් ප්‍රජාව සහභාගී කරවා ගන්න. අපි ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩපිළිවෙළක් ආරම්භ කළොත් ඒක අනිත් අයත් ආදේශ කරගනීවි.
පාසල් සංවර්ධනය පිළිබඳ තීන්දු අධ්‍යාපන ව්‍යුහ කමිටුවලදි සාකච්ඡා කරලා තීන්දු ගන්න. ඉස්සරවෙලා විදුහල්පතිවරුන් සමඟ සාකච්ඡා කරලා කලාපයේ අධ්‍යාපන වැඩපිළිවෙළ සකස් කරන්න. ඒ වැඩපිළිවෙළට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි සාකච්ඡා කරලා අනුමැතිය ගනිමු. ඒ තීන්දුව අපි ආණ්ඩුකාරතුමාට දැනුම් දෙමු.
පාසලේ ගොඩනැගිලිවල වහල අලුත්වැඩියා කිරීම ගැන විස්තර එවන්න කියලා විදුහල්පතිවරුන්ට කිව්වම සියලුම ගොඩනැගිලිවල විස්තර එවනවා. ඒ සමහර පාසල්වල ළමයි නෑ. එහෙම බොරුවට
වියදම් කරලා වැඩක් නැහැ. අවශ්‍යම ගොඩනැගිලි විතරක් අලුත්වැඩියා කරමු. මම නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පීන් පාසල්වලට සම්බන්ධ කරල දුන්නා. සැලසුම් අධ්‍යයනය කරලා වාර්තාවක් දෙන්න කියලා.
ඒ වගේම මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ වැඩ අවසන් නොවූ සියලුම මාර්ගවල වැඩ අවසන් කිරීම පිළිබඳවත් වාර්තාවක් දෙන්න. හිතවත්කම් මත පාරවල් හදන්න යන්නෙපා. සැලැස්මක් ඇතිව වැඩ කළොත් හැම කොට්ඨාසයකම පාරවල්ටික හදන්න පුළුවන්.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්පෝස් රොෂාන් ගුණතිලක, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගම්පහ දිස්ත්‍රික්
ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්,රාජ්‍ය නිළධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.