ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    " හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කරනවා " ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    අගෝස්තු 11, 2023

    හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ආරක්‍ෂිත ක්‍රිකට් පුහුණු පැති තණතීරුව සිසු අයිතියට පත් කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "මීට පෙර මුළු ලෝකෙම කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අධ්‍යාපනයේ මූලික අඩිතාලම දැමිය යුතු දරුවන් දස ලක්ෂයකට අධික පිරිසකට වසර තුනක් පමණ එම අඩිතාලම මගහැරුණා. එලෙස මගහැරුණු අධ්‍යාපනය නැවත ආවරණය කිරීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ ජීවිත කාලයටම එය විශාල බලපෑමක් වනවා.

    ලොව වෙනස් කළ හැකි බලවත් ම ආයුධය අධ්‍යාපනය බව ප්‍රකට නායකයෙකු වන නෙල්සන් මැන්ඩෙලා වරක් ප්‍රකාශ කර තිබෙනවා. ගුරුවරයකුගේ නිසි මඟ පෙන්වීම තුළ දරුවෙකු යහපත් පුද්ගලයකු වනවා ද අපරාධකරුවෙකු වනවද යන්න තීරණය වනවා. අපේ රටේ බිහි වූ වාසනාවන්තම ගුරුවරයා මා බව මා සලකනවා. දශක දෙකහමාරකට අධික කාලයක් තුළ ගුරුවරයකු වශයෙන් මා බිහි කළ ශිෂ්‍යයින් විශාල පිරිසක් අතරින් ශිෂ්‍යයෙක් අද මාගේම අමාත්‍යාංශය ලේකම් ලේකම් වරයා හැටියට කටයුතු කරනවා. රටේ අධ්‍යාපන, දේශපාලන, පරිපාලන, ව්‍යාපාරික ක්ෂේත්‍ර බොහෝමයක ඉහළම ස්ථානවලට ළඟා වූ ශිෂ්‍ය පිරිසක් මා බිහි කර තිබෙනවා.

    එකම ජාතික පාසලක් වත් නොමැති ව තිබූ මැතිවරණ කොට්ඨාශයක් වූ හෝමාගම ප්‍රදේශයේ දකුණු ආසියාවේ විශාලතම ද්විතීක පාසල බිහි කරන්නට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මට හැකියාව ලැබුණා. දශක දහයකට පසු ආපසු ඒ දෙස හැරී බලන විට ශ්‍රී ලංකා ඉතිහාසයේ සාමාන්‍ය පෙල විභාගයෙන් නොමැකෙන වාර්තාවක් බිහි කරන්නට එම පාසල සමත් වී තිබෙනවා. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ දරුවන් සියලු දෙනාම, කිසිවකු අසමත් නොවී උසස් පෙළට සුදුසුකම් ලබා තිබෙනවා.

    මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ අංග සම්පූර්ණ වශයෙන්ම ඩිජිටල්කරණයට ලක්වන මුල්ම පාසල බවට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය පත් කරනවා. එහි ප්‍රතිඵල අවට තිබෙන සෑම පාසලකටම හිමිවනවා.

    දැනට කනිෂ්ඨ විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යන මෙම විද්‍යාලයට අවශ්‍ය ගොඩනැගිලි ඇතුළු අනිකුත් පහසුකම් කඩිනමින් ලබා දෙමින් මහා විද්‍යාලයක් වශයෙන් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අප කටයුතු කරනවා.

    කර්මාන්ත කෘෂිකර්මාන්ත ඇතුළු සෑම ක්ෂේත්‍රයකම තීරණාත්මක මාධ්‍යයක් බවට කෘතිම බුද්ධිය (Artificial Intelligence ) මේ වන විට පත්ව තිබෙනවා. පසුගියදා මා චීනයේ සංචාරයක නිරත වූ අවස්ථාවක එහි පවතින අති විශාල වරායක් නිරීක්ෂණ කිරීමට අවස්ථාව ලැබුණා.එහි සමස්ත මෙහෙයුම් කටයුතු සියල්ලක්ම සිදුවන්නේ කෘතිම බුද්ධියෙන් මෙහෙයවන පාලක මැදිරියක් මගින්. කිසිදු මිනිස් ශ්‍රමයක් භාවිත වන්නේ නැහැ.

    අපේ රටේ දරුවන් හෙට මුහුණ දෙන්නේ එවන් අභියෝග පිරුණු ලෝකයකට. ඒ අභියෝගයට මුහුණ දියහැකි දරුවෙක් නිර්මාණය කිරීමට නම් අපේ සිතුම්, පැතුම්, ආකල්ප සියල්ලක්ම ඊට සාපේක්ෂව වෙනස් විය යුතුයි.

    ඉන්දියාව ඇතුළු බොහෝ රටවල තරුණ පරපුර මේ වනවිට තොරතුරු තාක්ෂණ අපනයන මඟින් රටට විශාල විදේශ විනිමයක්‌ උපයා දෙන ව්‍යවසායකයින් බවට පත්ව තිබෙනවා.

    මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මේ වන විට ජාතික රූපවාහිනියේද සහයෝගය සහිතව සැමට තොරතුරු තාක්ෂණය යන තේමාව යටතේ ඕනෑම ක්ෂේත්‍රයක අවශ්‍යතාවය ඇති පිරිස් සඳහා අලුත් වැඩසටහන් මාලාවක් ආරම්භ වනවා. අනාගත ලෝකයට ගැළපෙන තාක්ෂණ දැනුම පිළිබඳ අවබෝධය එහිදී ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඊට සම්බන්ධව පාඨමාලා අවසන් කරන සියලු දෙනාට මොරටුව විශ්ව විද්‍යාලය මගින් පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට ද නියමිතයි. කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව ඕනෑම කෙනෙකුට ඒ පාඨමාලාව හැදෑරිය හැකිය.

    සිතන්නට හැකි ප්‍රමාණයට වඩා ප්‍රමාණයකින් ලෝකය දෙස බලන්නට අප දරුවන්ට කියා දිය යුතුයි. අද්‍යතන ලෝකෙට ගැලපෙන දරුවෙකු නිර්මාණය කිරීමට සමස්ත අධ්‍යාපන ක්‍රමය තුළ අවශ්‍ය වෙනස්කම් සිදු කළ යුතුයි."

    බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතා, ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අරුණි ද සිල්වා මහත්මිය, විද්‍යාලයේ විදුහල්පති රෝහිත දිසානායක මහතා ඇතුළු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසු දරු දැරියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya