ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීම සදහා වැඩසටහන් මාලාවක්

    සැප්තැම්බර් 11, 2023

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තවදුරටත් පුළුල් කිරීමේ වැඩ පිළිවෙල කඩිනම් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ තෝරාගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සාර්ථකව පැවැත්විණි.

    ඒ සඳහා ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණයට ලක්කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කාර්ය සාධක බලකාය, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය සහ මහජන සේවා අංශය, කාන්තාවන් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් සහභාගී වූහ.

    ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණයට ලක්කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ දීර්ඝ කාලීන ක‍්‍රියාවලියේ පළමු පියවර ලෙස මෙම සැසි මාලාව හැඳින්විය හැක. සමස්ත පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ භෞතික, ඩිජිටල් සහ සමාජීය අවකාශයන් ආබාධ සහිත තැනැත්තන් සඳහා හිතකාමී බවට පත් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටී. ආබාධ සහිත තැනැත්තන් හට පාර්ලිමේන්තුව වෙත ඇති ප‍්‍රවේශය පිළිබඳ පුළුල් තක්සේරුවක් මෙම වසර ආරම්භයේදී සිදු කරන ලදී. එම වාර්තාවට අනූව, භෞතික ඉදිකිරීම්, පාර්ලිමේන්තු වෙබ් අඩවිය සහ ඩිජිටල් අවකාශයන් ආබාධ සහිත තැනැත්තන් සඳහා හිතකාමී බවට පත් කිරීම මෙන්ම කාර්ය මණ්ඩලයේ සහ මන්ත‍්‍රීවරුන්ගේ ධාරිතා සංවර්ධනය ඇතුළු වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්ෂේත‍්‍ර ගණනාවක් නිර්දේශ කර ඇත.

    එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණයට ලක්කිරීම පිළිබඳව ස්ථාවර සහ තිරසාර ලෙස කටයුතු කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාර්ය සාධක බලකායක් පත් කරන ලදී. මෙම කාර්ය සාධක බලකාය දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ගෙන් සමන්විත වන අතර එහි සභාපතිත්වය දරනු ලබන්නේ පාර්ලිමේන්තු සහකාර මහ ලේකම්වරයා විසිනි.

    තවද, පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයීය සන්දර්භය තුළ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණයට ලක් කර ගැනීම හා ඒ සම්බන්ධ විවිධ දෘෂ්ටිකෝණයන් වෙත අවධානය යොමු කරන ලද මොඩියුල ඇතුලත් පුහුණු අත්පොතක් සකස් කරනු ලැබිණි. මෙම අත්පොත පරිවර්තනයට ලක් කෙරෙන අතර අනාගතයේදී ධාරිතා සංවර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ඇත.

    පාරිසරික, ආකල්පමය සහ ආයතනිකමය වශයෙන් ඇති බාධක වලට මුහුණ දෙන ආබාධ සහිත තැනැත්තන් ආබාධිතභාවය පමණක් නොව, සමාජයේ සමාන පුරවැසියෙක් ලෙස පෙනී සිටීමටද බාධා පැමිණෙන බව මෙහිදී පෙන්වා දෙන ලදී.

    එබැවින් එවැනි බාධා ඉවත් කළොත් ආබාධ සහිත පසුබිමක් ඇති නොවන බැවින් සමාජය සහ ආයතන වශයෙන් අප උත්සාහ කළ යුත්තේ බාධා සහිත තැනැත්තන් හට ඉහත කී බාධා වලින් තොර වෙනත්  පුද්ගලයකුට මෙන් සමාජයේ සහභාගී වීමට හැකි වන පරිදි මෙම බාධක ඉවත් කිරීම බව මෙහිදී අවධාරණය කෙරිණි.

    මෙම සැසිවාර වලදී, සහභාගිවන්නන් ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම්වල නියැළෙමින්, ආබාධ සහිත පුද්ගලයන්ගේ යථාර්ථයන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබිණි. දේශීය පුහුණුකරුවන් පිරිසක් නිරීක්ෂකයින් ලෙස පුහුණු සැසියට එක් වූ අතර, මෙම විෂය පිළිබඳ වසර ගණනාවක පළපුරුද්දක් ඇති ජාත්‍යන්තර උපදේශකයෙකු විසින් සංවේදීකරණ සැසි මෙහෙයවන ලදී. පාර්ලිමේන්තුවේ මෙම ප‍්‍රයත්නයන්ට අන්තර් ජාතික කටයුතු සඳහා වන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රික ආයතනයේ (NDI) සහය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මූල්‍යමය අනුග‍්‍රහය සපයයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya