ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පත්වෙයි.

    සැප්තැම්බර් 12, 2023

     ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය කැඳවා අදහස් හා යෝජනා ලබාගැනීමට කමිටු සභාපති වරයාගෙන් උපදෙස්
     ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ රාජ්‍ය නොවන සංවිධාන වල අදහස් ලබාගැනීමටද යෝජනා.

    ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ( මහාචාර්ය ) චරිත හේරත් සහ ( විශේෂඥ වෛද්‍ය ) සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී තෝරා පත්කර ගන්නා ලදී.

    නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ සහ කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ, මධුර විතානගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් තෝරා පත්කර ගන්නා ලදී.

    කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ප්‍රථමයෙන්ම සාකච්ජාවක් සඳහා කැඳවීමට උපදෙස් ලබාදෙන ලදී. එමගින් වර්තමානයේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තොරතුරු හා දත්ත මෙන්ම එම කාර්යාලය ගෙනයන වැඩ පිළිවෙල සම්බන්දයෙන් කමිටුවට අවබෝධයක් ලබගත හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

    අධ්‍යාපනය ,ප්‍රවාහනය ,නීති හා සෞඛ්‍ය යන අංශ තුල ආබාධ සහිත තැනැත්තන්ට බහුලව ගැටලු පවතින බව වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසීය. ඒ අනුව ඉදිරියේදී ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට තීරණය විය.

    මෙරට සිදුකර ඇති අවසන් ජන සංගණනය 2012 වසරේ සිදුකර ඇති බැවින් වර්තමානයේ කොපමණ ආබාධ සහිත තැනැත්තන් සිටිනවාද යන්න පිළිබඳ යාවත්කාලීන දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවයද සභාපතිවරයා සිහිපත් කළේය.

    පක්ෂ භේදයෙන් තොරව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට සියලුම දෙනා කටයුතු කලයුතු බවද සභාපතිවරයා මෙහදී අවධාරණය කළේය.

    මෙරට සිටින ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කමිටුව හමුවේ කරුණු ඉරිපත් කළේය. ඒ අනුව අදාල දත්ත ලබාගැනීම ග්‍රාම නිලධාරීන් මගින් ආරම්භ කළ හැකි බවද විපක්ෂ නායකවරයා පැවසීය.

    ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පාව නොව අයිතීන් ලබාදීම අරමුණු කරගෙන කටයුතු කලයුතු බවට මෙහිදී අදහස් දක්වමින් කමිටු සාමාජික මන්ත්‍රීවරයන් ප්‍රකාශ කළහ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ලලිත් එල්ලාවල, මහාචාර්ය චරිත හේරත්, නීතිඥ, මධුර විතානගේ, ජගත් කුමාර, මහාචාර්ය ගුණපාල රත්නසේකර, වීරසුමන වීරසිංහ, කරුණාදාස කොඩිතුවක්කු , උදයන කිරිදිගොඩ, යදාමිණි ගුණවර්ධන නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, කේ පී එස් කුමාරසිරි , සුදත් මංජුල, රෝහිණි විජේරත්න, වසන්ත යාපා බණ්ඩාර යන මහත්ම මහත්මීහු මෙම කමිටු රැස්වීම සඳහා සහභාගී වුහ. එමෙන්ම පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya