ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනයට ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 595ක මූල්‍ය ප්‍රතිපාදන

    සැප්තැම්බර් 11, 2023

     කිලෝමීටර 44කින් සමන්විත කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන ඇල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ...
     ප්‍රධාන ඇල මාර්ග පද්ධතියට අමතරව, ජල රැඳවුම් පොකුණු හා ඒ ආශ්‍රිත ව්‍යායාම මංතීරු හා උද්‍යාන නඩත්තුවද සිදුවේ...
     මුල් පිහිටීමට හානි කරන්න එපා - පරිසර හිතකාමී ශාක ඉවත්කරන්නත් එපා...
    - ඇමති ප්‍රසන්න රණතුංගගෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට උපදෙස්.

    කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමට ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 595 ක භණ්ඩාගාර ප්‍රතිපාදන වෙන්කරනු ලැබ ඇත.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් අනුව මහා භාණ්ඩාගාරය විසින් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන ඇල මාර්ග පද්ධතිය කිලෝමීටර 44කින් සමන්විතවේ. මෙම බොහෝ වැව් හා ඇළ මාර්ගවල ජපන් ජබර වැනි ආක්‍රමණශීලි වල් පැළැටි සහ දුගඳ හමන, රොන් මඩ, ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු, සනීපාරක්ෂක ද්‍රව්‍ය, අප ජලය හා තෙල් වර්ග ආදියෙන් පිරී පවතී. මේ හේතුවෙන් ඉතා සුළු වර්ෂා තත්ත්වයකදී වුවද කොළඹ නගරයේ ප්‍රධාන මං මාවත් වතුරෙන් යටවේ.

    එබැවින් කොළඹ නගරය හා ඒ අව‍ට පිහිටි ප්‍රධාන ඇල මාර්ග පද්ධතිය, ජල රැඳවුම් හා ඒ ආශ්‍රිත ව්‍යායාම මංතීරු පොකුණු හා උද්‍යාන නඩත්තු කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට උපදෙස් දී තිබේ.

    ඒ අනුව ප්‍රධාන වශයෙන්ම කොළඹ නගරයට ආසන්නව වත්තල නගරය හරහා ගලා බසිනා හැමිල්ටන් ඇල ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී සිදු කිරීමට නියමිතය. හැමිල්ටන් ඇල කිලෝමීටර 14.3ක දිගකින් යුතුය. එම ඇල මාර්ගය මීගමු කලපුවේ සිට කැලණි ගඟේ මෝය දක්වාත්, මීගමු කලපුවේ සිට මහ ඔය දක්වාත් නඩත්තු කිරීමට නියමිතය.

    ජලය මතුපිට ඇති ජලඡ පැලෑටි ඉවත් කිරීම, ඇල ඉවුරු නඩත්තු කිරීම,ඇලෙහි රොන් මඩ ඉවත් කිරීම, එම රොන් මඩ සුදුසු ස්ථාන කරා ප්‍රවාහනය කිරීම, ගේබියන් පෙට්ටිදමා ඇල ඉවුරු සංරක්ෂණය කිරීම,
    අනවශ්‍ය ශාක ඉවත් කිරීම, කුණු රැදෙන වළවල් පිරිසිදු කිරීම යනාදී ක්‍රියාවන් සිදුකරනු ලැබේ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ ගංවතුර පාලනය කොට කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ පිරිසිදුව හා අලංකාරව තබා ගැනීමට නම් මෙම ඇළ මාර්ග හා වැව් නිරන්තරයෙන්ම පිරිසිදු කළ යුතු බවත් ඒ සඳහා සාමාන්‍ය පොදු මහජනයාගේ සහය උපරිමයෙන්ම අපේක්ෂා කරන බවත්ය.

    මෙම වැව් හා ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒවායේ මුල් පිහිටීමට හානි නොකරන ලෙස හා ඒවායේ ජීවත්වන ජලජ ජීවීන්ට ආරක්ෂාව සළසන පරිසර හිතකාමී ශාක ඉවත් නොකර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙසද අමාත්‍යවරයා බළධාරීන්ට උපදෙස් දී ඇත.

    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක ඔරුගොඩවත්ත(කොළඹ උතුර), නාවල කිරිමණ්ඩල මාවත(කොළඹ නැගෙනහිර) කිරුළපන(කොළඹ දකුණ) හා මුතුරාජවෙල, (මීගමුව) ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාල 4ක් යට‍තේ මෙම ඇල මාර්ගයන්හි නඩත්තු කටයුතු සිදු කිරීමට නියමිතය.

    ඊට අමතරව බත්තරමුල්ල - දියත උයන, මාදිවෙල-කිඹුලාවෙල හා බෙල්ලන්විල යන සංවර්ධිත පරිශ්‍රයන්හි පිහිටි උප කාර්යාල මගින්ද ඇල මාර්ග නඩත්තු කටයුතු මෙන්ම නගර අලංකරණ ව්‍යාපෘති මෙහෙයවීම සිදුකර බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya