ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ආයුර්වේද සංස්ථාව සාම්ප්‍රදායික ඖෂධ වලින් බැහැර වෙලා අද අලුත් නිෂ්පාදන වලට යොමු වෙමින් ඉන්නවා - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය  

    සැප්තැම්බර් 14, 2023

     

    ආයුර්වේද සංස්ථාව සාම්ප්‍රදායික ඖෂධ වලින් බැහැර වෙලා අද අලුත් නිෂ්පාදන වලට යොමු වෙමින් පවතින බවද පෙර ලබාදුන් ගුලි කල්ක චූර්ණ වෙනුවට දැන් සංස්ථාව මැදිහත්වී ටැබ්ලට් නිර්මාණය කර ඇතැයිද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ පසුගියදා  රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේදී  දේශීය වෛද්‍ය පනත සහ පැවැත්වීමට නියමිත දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    මෙම නිෂ්පාදන වල අවම පිරිවැයක් යටතේ වඩාත් ගුණාත්මක ඖෂධ ලබාදීමේ උත්සාහයක නිරත වන බව පෙන්වාදුන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ඖෂධ වලින් පමණක් ලෙඩ හොඳ කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

    බටහිර ඖෂධ සඳහා අප රට මුළු සෞඛ්‍ය සේවා වියදමෙන් 38%ක් වැය කරන බවද, දේශීය වෛද්‍ය කර්මාන්තයට මුළු සෞඛ්‍ය සේවා වියදමෙන් වැය කරන්නේ 2%ක් පමණක් බවද පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා දේශීය ඖෂධ වගාවට මුල්තැන දිය යුතු බවත්, දේශීය ඖෂධ නිෂ්පාදනය සහ වගා කිරීමට මුල්තැන ලබාදීම පිළිබඳවත් පැහැදිලි කළේය.

    ලෝකයේ අද ආහාර රටාව පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ඇතිවී ඇතැයිද ශාකමය ආහාර පිළිබඳ සාකච්ඡාවක්, භාවනා ක්‍රම, ශාරීරික ව්‍යායාම, යෝග ක්‍රම, සංගීත චිකිත්සාව, ජල චිකිත්සාව, විවිධ තෙරපි ක්‍රම ආදිය පිළිබඳව පුළුල් ලෙස කතාබහට ලක්වන බව කියාසිටි  රාජ්‍ය අමාත්‍යවරයා රටේ ජාතික සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයට පුළුල් ගැඹුරු සාකච්ඡාවක් ඇතිවිය යුතු බවද අවධාරණය කළේය.

    ජාතික සෞඛ්‍ය සේවයේ නිෂ්චිත අංගයක් විදියට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සැලකුවොත් අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන බවද ඒකාබද්ධ සෞඛ්‍ය සේවයක් කරා ගමන් කළ යුතු යැයිද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya