ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ජාතික අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා තම දහඩිය, ශ්‍රමය, ධනය කැපකරමින් මහා අධ්‍යාපනික විප්ලවයක් කළ ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාල තුමායි

    සැප්තැම්බර් 18, 2023

    ජාතික අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා තම දහඩිය, ශ්‍රමය, ධනය කැපකරමින් මහා අධ්‍යාපනික විප්ලවයක් කළ ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාල තුමායි

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන -

    සැප්තැම්බර් මස 17 වැනි දිනට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ සමරු වැඩසටහනක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්විණි.

    සමරු වැඩසටහන අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "පාසල් අධ්‍යාපනය නිම කර අනාගත ලොවට පා තබන සුවහසක් දරුවන් තුල ධර්මපාල චින්තනය පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කළ යුතුයි. රට බේරාගැනීමට චින්තනය සැපයූ, ඉන්දියාව තුලද නැවත බුද්ධාගම ස්ථාපනය කර සුරකිමින්, බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ජීවිත කැපකිරීමෙන් කටයුතු කළ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙකු ලෙස සිරි දේවමිත්ත ධර්මපාලතුමන් ඉතිහාසයට එක් වනවා.
    මේ වෙනුවෙන් පලකල ලිපියක මේ රටේ ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාල තුමන් බව මා සඳහන් කලා. නිදහස් අධ්‍යාපනයේ පියා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා, ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාලතුමා යන්න පිළිබඳ දිගු කාලීන පරීක්ෂණයක මා නිරත වුණා.

    පල්ලිය පදනම් කරගනිමින් එවකට පැවති මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අවජාතක අධ්‍යාපන ක්‍රමයක් ලෙස අනගාරික ධර්මපාලතුමන් හැඳින්වූවා. එම නිසා රටේ දක්ෂ තරුණයින් තෝරා ගෙන ඇමරිකාව,එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ජපානය වැනි රටවලට ශිෂ්‍යත්ව ලබා දී යොමු කර මේ රටේ දරුවන් දක්ෂතා, කුසලතා, නිර්මාණශීලී හැකියාවෙන් පිරිපුන් පරපුරක් බවට පත් කිරීමට එතුමා උපදෙස් ලබා දුන්නා.
    " අපේ ජාතිය ගලවා ගැනීමේ ඒකායන මාර්ගය අධ්‍යාපනයයි. ලංකාවේ ඇත්තේ අවජාතක අධ්‍යාපන ක්‍රමයකි. සිංහල තරුණයන් ඇමරිකාව,එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, හොං කොං වැනි රටවලට ශිෂ්‍යත්ව දී යවා තාක්ෂණය, විද්‍යාත්මක කෘෂිකර්මය, වාරිමාර්ග ආදී නව විෂයයන් පිළිබඳව දැනුම ලබාදී ආපසු ලංකාවට ගෙන්වාගෙන ජාතිය ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළ යුතුය. දියුණු වී ස්වයංපෝෂිත වීමට නම් විදේශීය භාණ්ඩ පරිභෝජනයෙන් වැළකිය යුතුය. රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදවිය යුතුය. පරිහරණයට ගත යුතුය. රට තුළ නැවත කර්මාන්ත ආරම්භ කිරීම තුළින් ධනය හා රැකියා උත්පාදනය වැඩි කළ හැකිය. ධනය උත්පාදනය, සංසරණය හා හුවමාරු කිරීම පිළිබඳව මූලික සිද්ධාන්ත ගැන අවබෝධයක් ලබා දිය යුතුය. දක්ෂ විශේෂඥ දැනුම ඇති පරිපාලන නිලධාරීන් පමණක් වගකිවයුතු උසස් තනතුරු වලට පත් කළ යුතුය. විදේශීය භාෂා ඥානය ලබාගැනීම ජාතික අවශ්‍යතාවයක් වන බැවින් එම භාෂා පිළිබඳව දැනුම ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් යුතුය." මා විසින් ලියන ලද අභිරහස් ආයෝජනය සහ මුදල් විශුද්ධිකරණය කෘතියේ පිදුම එතුමාගේම ප්‍රකාශය යොදා ගනිමින් අනගාරික ධර්මපාල උතුමන් වෙත සිදුකර තිබුණේ ඒ ආකාරයෙන්.

    මෑත ඉතිහාසය තුළ අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික අධ්‍යාපන චින්තනයට ඉහළම ගරුත්වය ලබා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා මා බව මම විශ්වාස කරනවා. ඊට හේතුව වන්නේ විද්‍යා කලා වාණිජ විෂයයන් පමණක් උසස් පෙළට නියමිතව තිබූ මේ රටේ අධ්‍යාපන ක්‍රමයට අපමණ බාධා අපහාස උපහාස විඳිමින් තාක්ෂණ විෂය ධාරාව මා හඳුන්වා දුන්නා. එය සිදු කරන අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් " අධ්‍යාපනය වනසන බන්දුල ගෙදර පල " යනුවෙන් පෝස්ටරයක් රටපුරා ඇල වීම සිදු කලා. මෑත ඉතිහාසය තුළ මගේ නිවසද ගිනිබත් කරනු ලැබුවා.එවක මගේ මුළු කාලයම කැප කරමින් ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර තුළ පරිගණක 40කින් යුතු පරිගණක විද්‍යාගාරයක්, විදේශ භාෂා දැනුම ලබා ගැනීම සඳහා පරිගණක 20 කින් යුතු භාෂාගාරයක්, ගණිතාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පන්ති කාමරයක් ඇතුළත් කර තිබෙනවා. තාක්ෂණික අධ්‍යාපනය වෙනුවෙන් ඇති කළ මහින්දෝදය තාක්ෂණ පීඨ 251තුළ එහි පහත මහල ඉංජිනේරු තාක්ෂණය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ සහිතව නිර්මාණය කර තිබෙනවා. නවීන කෘෂිකර්මය හා වාරිමාර්ග පිළිබඳ තාක්ෂණය ලබාදීමට දෙවන මහල ජෛව පද්ධති තාක්ෂණය සඳහා වෙන් කරනු ලැබුවා. තුන්වන මහල දරුවන්ගේ පන්ති කාමර.එලෙස බිහිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහස තුළත් ලංකාව පුරා ඇති කළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාපීඨ 251 තුලත්, තාක්ෂණවේදය විෂය ධාරාව තුළත් ජීවත් වන්නේ අනගාරික ධර්මපාලතුමන්ගේ චින්තනයයි. මේ වන විට විශ්ව විද්‍යාල වල තාක්ෂණික ඊට දහ තුනක් ඇති වී තිබෙනවා. වසරකට සිසුන් පන්දහසකට වැඩි පිරිසක් ඒ පීඨවලට ඇතුළත් වී හෙට ලොවට අවශ්‍ය නවෝත්පාදන සිදු කිරීමට දැනුම ලබා ගනිමින් සිටිනවා.

    එවකට ජීවත් වූ බොහෝ විද්වතුන් සමඟ එක්ව රටේ ජාතික අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා තම දහඩිය, ශ්‍රමය, ධනය කැපකරමින් මහා අධ්‍යාපනික විප්ලවයක් කළ ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාල තුමායි. ඒ අනුව යමින් වත්මන් දරු පරපුරද සිතනවාට වඩා යමක් සිතමින්, දකිනවට වඩා යමක් දකිමින්, සුවහසක් අවිහිංසක මිනිසුන්ගේ යහපත පිණිස රටට සේවය කරන්නට අධිෂ්ඨාන කරගත යුතුයි."

     

    හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ සහකාර අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නායක ස්වාමීන් වහන්සේ, පිටිපන උත්තරාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මාදුළුවාවේ ධම්මික නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින්,හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු කුමාර මහතා, නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුලු විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසු සිසුවියන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya