ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    නිල්වලා ගඟේ ගංවතුර තත්ත්වයේ සුළු අඩුවීමක්

    ඔක්තෝබර් 09, 2023

    නිල්වලා ගඟේ මේ වන විට පවතින ගංවතුර තත්වය ඉතා සුළු වශයෙන් අඩුවීමක් දක්නට ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

    මේ තත්වයට හේතුව ගංගාවේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය විසිහතර පුරා සැළකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් නොලැබීමයි.

    එසේම උතුරා යමින් පවතින නිල්වලා ගංගාවේ බී.ආර්. පහ බැම්ම තවදුරටත් සුළු වශයෙන් උතුරා යමින් පවතී.එම උතුරා යාම අඟල් තුනක පමණ උසකින් දළ වශයෙන් මීටර් සියයක් පමණ දිගකින් යුතුව සිදුවේ.මේ උතුරා යාමෙන් ඇතුළ්වන ජලය මගින් ආරක්ෂිත ප්‍රදේශවල පවතින ජල මට්ටම් සැළකියයුතු ලෙස වර්ධනයක් සිදු වීමට තරම් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ඇතුලු වන්නේ නැති බවද ඒ මහතා පවසයි.

    කෙසේ නමුත් එම ප්‍රදේශවල පවතින ජල මට්ටම් සුළු වශයෙන් ඉහළ යාමක් සිදු වන බවත් ගංවතුර බලපෑම තවදුරටත් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

    නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින සැළකිය යුතු ලෙස ඉහළ මට්ටමේ ගංවතුර බලපෑම් අද දිනටත් පවතින බවත් අද දිනය තුළ වැසි නොලැබුණහොත් ගංවතුර තත්වය වර්ධනය නොවනු ඇති බවත් සුගීෂ්වර මහතා සඳහන් කරයි.

    නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල එනම් අකුරැස්ස , මාලිම්බඩ, කඹුරුපිටිය , තිහගොඩ , මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල පදිංචි ජනතාව මෙන්ම මෙතෙක් ගංවතුර තර්ජනයට ලක් නොවූ ජනතාවද තවදුරටත් ගංවතුර අවදානම පිළීබඳ සැළකිල්ලෙන් පසුවන ලෙස ඒ මහතා දැනුම් දේ.නිල්වලා ගංගාවේ ජලය ඉහළ මට්ටමක පවතින බැවින් වැසි ඇතිවුවහොත් මෙම බලපෑම් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

    විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම මේ හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන රථවාහන රියදුරන් සහ මගීන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස සුගීෂ්වර මහතා ඉල්ලා සිටී.

    ගිං ගඟේ තත්වය සැළකීමේදී නාගොඩ ,ගෝපිපෝද්දල සහ බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගිංගඟ ආශ්‍රිිත පහත් බිම්වල පවතින ගංවතුර තත්වය මේ වන විට සෙමෙන් බැස යමින් පවතින අතර බලපෑම් තවදුරටත් පවතින බවද ඒ මහතා පවසයි.

    මෙම ප්‍රදේශවල ගංවතුර තත්වය අද දිනය පුරා පවතී.ඉදිරි කාලය තුළ ධාරා ප්‍රදේශවලට වර්ෂාව නොලැබුනොත් ගංවතුර තත්වය අඩුවීමක් දැකිය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

    කළුගඟ සහ අත්තනගලු ඔය පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බවත් සමස්තයක් ලෙස බස්නාහිර පළාත සහ ගාල්ල මාතර දිස්ත්‍රික්ක හරහා ගලා බසින ගංගාවල පවතින ගංවතුර තත්වයන් ක්‍රමයෙන් බැස යන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya