ජනවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    විහාරමහා දේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්

    නොවැම්බර් 06, 2023

     සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති අනෙකුත් දේපළත් අදාළ ආයතනවලටම පැවරීමට තීරණය වේ...
     උද්‍යානයේ සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න- ඇමති ප්‍රසන්න රණතුංග

    විහාරමහා දේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

    ඕනෑම දේපළක් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ හැකියාව ඇත. ඒ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 50 වැනි වගන්තිය ප්‍රකාරවය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ නවීකරන කටයුතු සඳහා එලෙස පවරාගෙන සංවර්ධනය කරන ලද දේපළ අයත්ව පැවැති ආයතනවලටම නැවත පවරා දෙන ලෙසයි.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේදී මෙම උද්‍යානය නූතන ලෝකයට ගැලපෙන පරිදි නවීකරණය කිරීමට කටයුතු කළේය.

    ඒ අනුව එතෙක් කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවි උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබිණ. ඒ අනුව නාගරික සංවර්ධන
    අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහා දේවි උද්‍යානය නවීකරණය කර 2013 වසරේදී විවෘත කරන ලදී.

    ලොව පුරා ප‍්‍රධාන නගරයන්හි ඉදි කෙරෙනා නාගරික පොදු මහජන උද්‍යානයන්හි මූලිකම කරුණක් වනුයේ තාප්ප, බැරියර්, ගේට්ටු, ආදිය යොදා ආවරණය නොකළ නිදහස් විවෘත වටපිටාවක පොදු මහජන උද්‍යාන බිහිවීමය.

    එය ආදර්ශයට ගෙන අලූත්වැඩියා කටයුතු සිදු කෙරෙන විහාර මහාදේවි උද්‍යාන භූමි භාගය පුරාවටම ඇති යකඩ වැටවල් ඉවත්කර සීමා මායිම් නොමැති වටපිටාවක් සකසා තිබේ.

    ඒ අනුව කොළඹ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ විහාරමහා දේවී උද්‍යානය නවීකරණය කිරීමේදී උද්‍යානය වටා තිබුණු යකඩ වැට ඉවත්ව ගොස් ඒ වෙනුවට මී, පළු, බුරුත වැනි ශාක අලුතින් එක්කොට නව සැලැස්මකට අනුව ප්‍රතිසංස්කරණය විය. විශේෂ වීදි අලංකරණ ලාම්පු මෙහි අලංකරණය වෙනුවෙන් යොදාගෙන තිබේ.

    එමෙන්ම උද්‍යාන භූමිය වටා දරුවන්ට විනෝදය පිණිස හෝ ශාරීරික සුවතාවය වෙනුවෙන් පාපැදි (බයිසිකල්) පැදිය හැකි මං තීරුවක්ද ඉදිකර තිබේ. ඕනෑම අයෙකුට ප‍්‍රයෝජනයට ගත හැකි ශාරීරික සුවතාවන්හි යෙදිය හැකි මං තීරුත් නව උද්‍යානය තුළදී දැකගත හැකිය.

    විහාරමහා දේවි උද්‍යාන භූමිය අක්කර 50ට ආසන්නය.කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයට අයත් අක්කර සියයක් වූ මේ භූමිභාගය 1866 දී කොළඹ නගර සභාව විසින් එවක යටත්විජිත භාර ලේකම්වරයාගෙන් ලබාගන්නා ලද්දක් බවත්, පසු කාලීනව එය නගරවාසීන්ට විවේකය හා විනෝදය ගෙන දෙන උද්‍යානයක් ලෙස ඉඳි වූ බවත් කියැවේ.

    කොළඹ ධර්මපාල මාවත, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, ඇල්බට් චන්ද්‍රවංකය, ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවත යනාදියට මායිම්ව පිහිටි මේ උද්‍යානය එවකට ‘සර්කියුලර් ගාර්ඩ්න්’ ලෙස හඳුන්වා තිබේ. මේ ඉඩම් කට්ටිය එදා කොළඹ නගර සභාව විසින් නගරාධිපති සර්කියුලස් වෙතින් ලබා ගැනීම නිසා මෙනමින් හැඳින්වූ බව පෙනේ. ඉන් කලකට පසුව එනම් 1887 දී බ්‍රිතානයේ වික්ටෝරියා රැජිනගේ “ස්වර්ණ ජයන්තිය” නිමිත්තෙන් මේ උද්‍යානය වික්ටෝරියා උද්‍යානය (Victoria park) ලෙසින් නම් කරන ලදී.

    විහාරමහා දේවි උද්‍යානය නවීකරණය කර මේ වනවිට වසර දහයකට අධිකය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මේ වනවිට මතුව ඇති සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිමකර විහාරමහා දේවි උද්‍යානය කොළඹ නගර සභාවට පැවරීම කඩිනම් කරන ලෙසයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya