ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතේ පොදු මඟී ප්‍රවාහන සේවාව ප්‍රවර්ධනය කොට ශක්තිමත් කළ යුතුයි - ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 08, 2023

    උතුරු පළාතේ පොදු මඟී ප්‍රවාහන සේවාව ප්‍රවර්ධනය කොට ශක්තිමත් කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    යාපනය, කිලිනොච්චි, වන්නි ඇතුළු උතුරු පළාතේ රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ හිඟය හේතුවෙන් ධාවනය ඇනහිට තිබෙන ලංගම බස්රථ නැවත ධාවනයේ යෙදවීම වීම සඳහා කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් නවක රියදුරන් 25 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 03 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී අද (08) සිදුකෙරිණි. එහි දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    ''පසුගිය කාලය පුරාවට ආර්ථිකයේ ඇති වූ දැවැන්ත පසුබෑම හේතුවෙන් ඉදිරි වසර තුනක පමණ කාලය තුළ රාජ්‍ය සේවය සඳහා කිසිදු බඳවා ගැනීමක් සිදු කිරීමට හැකියාවක් නැහැ. නව බඳවා ගැනීම් සිදුකර එම පිරිස් වෙත වැටුප් ගෙවීමේ හැකියාවක් රජයට නැහැ.

    පසුගිය වසරේ රජයේ මුළු බදු ආදායමෙන් 72% ක්‌ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කර තිබෙනවා.තවත් 28%ක්‌ සමෘද්ධි ඇතුළු අනෙකුත් සහනාධාර ගෙවීම් සඳහා වැය කොට තිබෙනවා. සම්පූර්ණ බදු අදායම මෙම කටයුතු සඳහා වැය වී තිබෙනවා.

    නමුත් රජයක් වශයෙන් මීට පෙර ලබාගෙන ඇති ණය සඳහා පොළී ගෙවිය යුතුයි. පසුගිය වසරේ එලෙස ගෙවා ඇති ණය පොලිය බිලියන 1765ක්‌. ඊට අමතරව සිදුකල අනෙකුත් සියලුම සංවර්ධන කටයුතු ද සිදු කර තිබෙන්නේ ණය ලබා ගැනීමෙන්. මෙතෙක් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු තවදුරටත් ණය ලබාගැනීමේ හැකියාවක් රජයට නැහැ.

    වෘත්තීය සමිති ඇතුළු ඇතැම් දේශපාලකයින් කිසිවෙකු මේ සත්‍යය තේරුම් ගෙන නැහැ. රාජ්‍ය බලයක් සහිතව ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමෙන් තොරව මෙම තත්වය තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. එලෙස වගකීමක් දරා නොමැති කෙනෙකුට ඕනෑම ප්‍රකාශයක් සිදු කළ හැකියි. නමුත් රජයකට එලෙස වගකීම් විරහිතව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.

    අමාත්‍යවරයා ලෙස මා මෙම අමාත්‍යාංශයේ වගකීම භාරගන්නා විට ඩිපෝ 39 කට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක්‌ පැවතුනා. මේ වන විට එම ඩිපෝ ප්‍රමාණය 09ක්‌ දක්වා අඩුකර තිබෙනවා. පවතින සියලු අපහසුතා මධ්‍යයේ වුවත් පොදු ප්‍රවාහනයේ පවතින අත්‍යවශ්‍ය තත්ත්වය මත ලංගම වෙත නව පත්වීම් ලබාදීමේ හැකියාව අපට හිමිවුණා. එමනිසා මේ ලැබෙන පත්වීමේ වගකීම නිසියාකාරයෙන් ඉටු කිරීම සියලුම දෙනා සතු වගකීමක්. වංචා, දූෂණ, අක්‍රමිකතා වලට සම්බන්ධ වන ඕනෑම අයකු සම්බන්ධව විනය, නීතිය තරයේ ම ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

    මෙම අපහසු කාල සීමාව පසුකර ලංගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සියලු දෙනාගේම පත්වීම් ස්ථිර කිරීමේ හැකියාව හිමිවනවා. එහි පැවැත්ම තිබෙන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය දියුණු කිරීම මතයි. වඩා හොඳ හෙටක් බීහි කර ගැනීම උදෙසා කැපවීමෙන් කටයුතු කිරීම සියලුම දෙනා සතු වගකීමක්” යනුවෙනි.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා ඇතුළු නිලධාරීන් සහ පත්වීම්ලාභීන් පිරිසක් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya