ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සඳහා පවතින තත්ත්වය සොයාබැලීමට ප්‍රවාහන ඇමති යයි - රාජ්‍ය ආදායම අවහිර කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලට ඉඩ නෑ

    නොවැම්බර් 22, 2023

    අධිවේගී මාර්ගවල මුදල් අයකැමිවරුන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති කීපයක් ක්‍රියාත්මක කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සඳහා පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවල විශේෂ නිරීක්ෂණයක නිරත විය.

    මේ වන විට කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ යුද හමුදාවේ නිලධාරීන් මගින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීම සිදුකරන අතර අතුරුගිරිය අන්තර් හුවමාරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීම සිදු කරනු ලබයි.

    මෙම ස්ථාන වල කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා:

    අසනීප නිවාඩු වාර්තා කර ඇති වර්ජකයින් විසින් අධිවේගී මාර්ගවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීමට නොහැකි තත්ත්වයකට පත්කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ වල සේවයේ නිරත සියලු දෙනා අසනීප නිවාඩු වාර්තා කරමින් වෙනත් අයෙකුට රාජකාරි සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි යන්ත්‍ර සූත්‍ර උපකරණ සියල්ල ගලවාගෙන ගොස් තිබෙනවා.

    ඒ සියලු යන්ත්‍රසූත්‍ර පොදු දේපල. ඒවා කඩා බිඳ තබා තිබෙනවා ද කවර ආකාරයේ තත්ත්වයක තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමකින් තොරව යුද හමුදාවට හෝ වෙනත් පාර්ශවයකට භාරදී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට ලබාදීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් මේ වන විට තාවකාලික ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරමින් රජයේ ආදායම අහිමි වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.


    රටක් වශයෙන්, රජයක් වශයෙන් බරපතළ මූල්‍ය අර්බුදයක්, ආර්ථික අර්බුදයක් මත සිටින අවස්ථාවක රජයට ලැබිය යුතු ආදායම නොලැබී යාමෙන් ඇතිවන තත්ත්වය තුළ ජනතාවට තව තවත් බදු පීඩනය වැඩිවීමේ අවදානමක් ඇතිවනවා. ආදායම් ලබාගත හැකි මාර්ග වල ආදායම් අහිමි වීම මෙවැනි ක්‍රියාමාර්ග තුළින් සිදු වනවා.

    මෙය දේශපාලන ක්‍රියාමාර්ගයක්. වෘත්තීය සමිති වශයෙන් ගෙන ඇති මේ ක්‍රියාමාර්ගය දේශපාලන වශයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වෙනස් කිරීම සඳහා බල කරන වර්ජනයක්. එය සිදු කළ නොහැකියි.ඔවුන්ගේ ඕනෑම දුක්ගැනවිල්ලක් පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මා මැදිහත් වී තිබෙනවා.අමාත්‍යවරයෙකු සතු බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ හැකියාවක් මට නැහැ.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාව, වැටුප් හා සේවක කොමිෂන් සභාව, වැනි ආයතන වලට ඉදිරිපත් කර ඇති කරුණු අනුව ඒවායේ තීන්දු තීරණ වලට වගකිවයුතු අමාත්‍යවරයකු වශයෙන් යටත් විය යුතුයි. ප්‍රචණ්ඩත්වය සහ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා මාර්ග තුළින් ඒවාට දන ගැසීමේ හැකියාවක් නැහැ.

    එම නිසා ඉතාමත් ඉක්මනින් තමන් සතුව යම් කිසි රාජ්‍ය දෙපලක් පවතිනවානම්, තමන් වැඩ නොකරනවා නම් වැඩ කළ හැකි කෙනෙකුට මේ දේපොළ භාර දෙන ලෙස මා ඉල්ලීමක් සිදු කරනවා. එම දේපොළ වලට යම්කිසි හානියක් සිදුකර තිබෙනවා නම් පරීක්ෂණයකින් අනතුරුව ලබා දිය හැකි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

    දැනට ඩිජිටල් තාක්ෂණය යටතේ ස්වයංක්‍රීයව මුදල් අය කිරීම, ඇතුල් විම සහ පිටවීම පාලනය කළ හැකි, වංචා දූෂණ සිදුකළ නොහැකි, ආරක්ෂිත කැමරා පද්ධති ආදිය ඇතුළත් ක්‍රමවේදයක් පිළිබඳ අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

    මෙය ඉතාමත් කඩිනමින් සම්පූර්ණ ස්වයංක්‍රීය තත්ත්වයට පත් කර පුර්ණ ඩිජිටල්කරණය සඳහා අවසර ලබාදෙන ලෙසත් ඒ තුළින් රාජ්‍ය ආදායම අවහිර කරන කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා ඉඩ නොදෙන තත්ත්වයට ඇතිකිරීමට මැදිහත් වන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් සිදු කරනවා. මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන, ආයතනය පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් ආදායමක් ඉපයීම නොකරන ස්ථාන වල, උපයන ආදායම හෝ ලබා ගැනීමට අවහිර කිරීම ජාතික අපරාධයක්. ඒ අපරාදය සිදු වීමට අප ඉඩ ලබා දෙන්නේ නැහැ.

    පසුගිය සතියේ නිලධාරීන් සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක දී පැහැදිලිවම මේ වර්ජන ක්‍රියාමාර්ගය සිදු නොකරන ලෙස උපදෙස් ලබා දුන්නා. මේ වන විට අයවැය සම්මත වී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලබාගෙන, ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමට උත්සහ කරන රටක් වශයෙන් ජාතික ප්‍රයත්නයක් දරණ අවස්ථාවක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හා පුද්ගලික පරමාර්ථ වෙනුවෙන් රාජ්‍ය දේපල මෙලෙසින් යොදාගැනීමට ඉඩ දීමට හැකියාවක් නැහැ. මේ තුළින් රජයේ ආදායම් ලබාගැනීම හිතාමතා ඕනෑකමින්, සැලසුම් සහගතව නතර කිරීම සිදුකර තිබෙනවා. අපි ඒ ගැන සොයා බලනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya