ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

      විදේශ කටයුතු අමාත්‍යාංශයේ අංශ කිහිපයක කාර්යභාරය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

    නොවැම්බර් 24, 2023

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ අංශ කිහිපයක කාර්යභාරය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කිරීම සිදු විය.

    මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන්   (21) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය. මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසිනි.

    මෙහි දී විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොන්සියුලර් කටයුතු අංශය (Consular Affairs Division), එක්සත් ජාතීන් සහ මානව හිමිකම් අංශය (United Nations and Human Rights Division) සහ ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය (National Oceanic Affairs Committee Secretariat) නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබුණි. මේ අනුව පැමිණි නිලධාරීන්ගෙන් මෙම එක් එක් අංශයේ වර්තමාන කටයුතු සහ කාර්යභාරය කමිටුව විසින් විමසන ලදී. මෙහි දී පැමිණි නිලධාරීන් ඒ ඒ අංශවල කාර්යයන් පිළිබඳ කමිටුවට පැහැදිලි කරන ලදී.

    එසේ ම මෙහි දී මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු විය. විශේෂයෙන් ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම සම්බන්ධයෙන් ද විමසා බැලීම සිදු විය.

    තවද සවුදි අරාබි රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.ඒම්. මුෂාරෆ් මහතා විමසා සිටියේය. මේ අනුව දෙරට අතර පවතින සම්බන්ධතාවය පිළිඳවද පැමිණි නිලධාරීන් පෙන්වා දෙන ලදී.

    එසේම මෙරට සංචාරක නවාතැන් (හෝටල් කාමර) මිල (විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත සංචාරක හෝටල්වල) වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් කමිටුව පෙන්වා දෙන ලදී.

    මීට අමතරව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සම්බන්ධ වූ තරුණ නියෝජිතයින් මීගමුව වෙරළ අපිරිසිදු තත්ත්වයක පැවතීම පිළිබඳවත් මෙම තත්ත්වය නිසා සංචාරක ආකර්ෂණය අවම වන බවත් පැමිණි නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය.

    කාරක සභාවේ සමාජිකයන් වන නීතීඥ එස්.එම්.ඒම්. මුෂාරෆ් මහතා සහ (නීතිඥ) මධුර විතානගේ මහතා මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.

    එසේම මෙම කමිටුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya