ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මෙරට පොල් වගාව නැංවීමට පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මක්

    දෙසැම්බර් 01, 2023

    මෙරට පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන 02ක් දක්වා ඉහළ නැංවීම ඉළක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මක් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

    පොල් සංවර්ධන අධිකාරියේ ඉදිරි කටයුතු සම්බන්ධව (29) අමාත්‍යවරයා සහ එම අධිකාරියේ නිලධාරීන් අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී හෙතෙම මෙම උපදෙස් ලබා දී තිබේ.

    මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ මණ්ඩලය හා ලුණුවිල පොල් පර්යේෂණායතනය ඇතුළු සියලු අංශවල දායකත්වය මත ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


    මෙරට පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තිබුනද තවමත් මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් යොදා ගනු ලබන්නේ දේශීය පරිභෝජනය සඳහාය. ඉතිරි සියයට 25ක ප්‍රමාණය අපනයනය කළ ද දේශීය වශයෙන් පොල් හිඟ වන අවස්ථාවන් හි දී අපනයන කටයුතු අඩාල වේ.


    විශේෂයෙන් දේශීය පොල් පාරිභෝජනයේ දී දෛනිකව පොල්වලින් විශාල ප්‍රමාණයක් අපතේ යන බව ද අවධාරණය විය.


    දැනට මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000කට ආසන්නය. පොල් වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා පොල් වගාවට පොහොර යෙදීම සඳහා ගොවීන් පෙළඹවීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී අවධාරණය විය.

    දැනට ගොවීන් පොල් වගාවට පොහොර යෙදීමට පියවර නොගැනීම අස්වනු අඩු වීමට හේතු වී තිබේ. එමනිසා විධිමත් ව වගා කිරීම සඳහා අවශ්‍ය පියවර යෝජනා කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.


    එමෙන්ම මෙරට පොල් වගාව ඉහළ නැංවීම මෙන්ම පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් වහාම තමන්ට ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya