ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට පියවර - කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය

    දෙසැම්බර් 11, 2023

    මහ පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් සහල් සඟවා මිල ඉහළ නැංවීම වැළැක්වීමට පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලද බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රට තුළ අවශ්‍ය තරම් සහල් තොග තිබිය දී ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් කෘත්‍රිමව නිර්මාණය කිරීමට උත්සාහ දරණ සහල් හිඟය මෙම උත්සව සමයේ සහල් මිල ඉහළ නැංවීම සදහා යොදන ලද උපක්‍රමයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ට වුවත් ඔවුන්ට ද පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ වැඩි මුදලට අලෙවි කරන පුද්ගලයින් හා ආයතන සඳහා පමණි. සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයින්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ට බලතල ලැබී නැත.

    මේ නිසා පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර දැනට සහල් සඟවාගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන්ගේ ස්ථාන පරීක්ෂාව සඳහා සහ නඩු පැවරීමට ද බලතල ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව අමාතයවරය‍ා වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම පනත සංශෝධනය සඳහා ලබන මස තුළ පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයා අවශ්‍ය සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කෘෂිකර්ම අමාත්‍යවරයා සහල් ආනයනය සඳහා එකඟවී ඇති බවට පසුගියදා රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා මිහින්තලේ නායක ස්වාමීන්වහන්සේ හමුවූ අවස්ථාවේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කරුණු සඳහන් කළේය.

    දැනට රටේ කීරි සම්බා සහල් හිඟයක් පවතින අතර මෙම සහල් හිඟය ද මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් හා කුඩා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් නිර්මාණය කරන ලද්දකක් බවත් මෙම උත්සව සමයේ කීරි සම්බා සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඊට විකල්ප සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට යෝජනා වුවත්, කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000 දක්වා අඩු කිරීමට යෝජනා කළ බවත් ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් අමාත්‍යවරයා කීය.

    එමෙන්ම 2022 වර්ෂයේ පැවැති සහල් හිඟය නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් මෙරටට ආනයනය කර ඇති නමුත් 2023 වර්ෂයේ ජනවාරි මස සිට මෙම දෙසැම්බර් මස දෙවන සතිය දක්වා මෙතෙක් සහල් ඇටයක් හෝ පිටරටින් ආනයනය නොකළ බවද අමාත්‍යවරයා පැවසීය.

    මේ වසර පුරාම රටේ ජනතාව මෙරට නිෂ්පාදිත සහල් අනුභව කරන බවත් ඒ අනුව සහල් ආනයනය සඳහා වැය කරන ඩොලර් මිලියන 300කට අධික මුදලක් මේ වසර තුළ රජයට ඉතිරි කර දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මහජනතාව ගොවි ජනතාවට කෘතඥ විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya