ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ජනතාව දැනුම්වත් කරමින් ඩෙංගු පාලනය කළ යුතුයි - සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ

    දෙසැම්බර් 22, 2023

    ඩෙංගු මඩින්නට නීති තිබුණත් ජනතාව දැනුවත් කරමින් ජනතාව සම්බන්ධ කරගනිමින් ඩෙංගු පාලනය කිරීම වැදගත් බවත්, මෙය බහුපාර්ශවීය කටයුත්තක් වන බැවින් මාධ්‍ය ඇතුළු සියළු දෙනාගේම සහාය මේ සදහා අවශ්‍ය වන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ, ඊයේ (21) බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඩෙංගු මදුරු මර්දන හා පාලන වැඩසටහන් වලට අදාලව බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, වල්පොල හා කලපළුවාව ග්‍රාම නිලධාරී වසම් වල ක්‍රියාත්මක කරන ලද විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිරීක්ෂණට එක් වෙමිනි.

    බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වල්පොල හා කලපලුවාව ග්‍රාම නිලධාරී වසම් වල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සංවිධානය කර තිබුනි. එහිදි නිවාස, වැඩබිම්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන, ඉඩම් වැනි ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක්කරමින් ජනතාව දැනුවත් කිරීම, මදුරු කීටයින් සහිත ස්ථාන විනාශ කිරිම හා මදුරු කීටයින් බෝවිය හැකි ස්ථාන හදුනා‍ ගෙන ඊට පිළියම් යෙදිම මෙහිදී  සිදුවිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ, කීට විද්‍යා නිලධාරින්ගේ  පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වු මෙම වැඩසටහනේ දී, කණ්ඩායම් 8 ක් වශයෙන් බෙදී ක්ෂේත්‍ර පරීක්ෂාව හා මදුරු මර්දනය සදහා කටයුතු කරන ලදි.

    මදුරු කීටයින් විනාශ කිරිම සදහා ලඟාවිය නොහැකි ස්ථාන සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් මදුරු කීටයින් විනාශ කිරිමට යොදා ගන්නා දියර ඉසීම ද මෙහිදී සිදු වූ අතර, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මදුරු මර්දන වැඩසටහන් පිළිබද සමාලෝචන රැස්වීමක් ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්ත්වයෙන් පැවැත්විය.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ....

    බස්නාහිර පලාතේ කොළඹ නගර සීමාව තුලත්, ගල්කිස්ස, කඩුවෙල නගර සීමාවන් තුලත් විශාල ලෙස ඩෙංගු රෝගීන් පසුගිය කාලයේ වාර්තා වුණු බවයි. සෞඛ්‍ය කණ්ඩායම් වල දැඩි කැපකිරීමත් සමඟ එම තත්වය මේ වන විට පහල යමින් තිබෙන බවත් වාර්ෂිකව මේ තත්වය උච්චාවචනය වන බවත් වර්තමානයේ තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රෝගීන් වැඩීවීම වාර්තා වන බවද පැවසීය. 

    ඩෙංගු වලට විශේෂ ඖෂධ කාණ්ඩ නොමැති බවත්, වෛද්‍යවරුන්ගේ ඉහළ කළමණාකරණය සහ ප්‍රතිකාර සේවා වල ශක්තිමත්භාවය නිසා ඩෙංගු මරණ වාර්තා වීම ඉතා අවම මට්ටටමක පවතින බව ද  පැවසීය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට පමණක් ‌‌‌ඩෙංගු මර්දනය කිරීමට නොහැකි බවත්, ඒ සදහා සියලු දෙනාගේම සහය අවශ්‍ය වන බවද, උණ රෝගය වාර්තා වන විටම එය ඩෙංගු රෝගය යැයි සැක කර  සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසටද ඉල්ලා සිටින ලදි. 

     මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා...

    “අපිට අවශ්‍ය වන්නේ මෙම මදුරු මර්දන ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් එහි  නියාමන කාර්යයත් හොදින් සිදු කර රෝගීන් වාර්තාවන ස්ථාන වලට ගොස් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න.”

    “මෙය දිනකින් දෙකකින් අවසන් කිරීමට නොහැකි කටයුත්තක්. නාගරික කරණයත් නිසා ඇති වන සංසිද්ධියක් ඩෙංගු රෝගය කියන්නේ. ඒක නිසා තමන්ගේ පරිසරය පිරිසිදුව තියා ගන්න. එය දීර්ඝ කාලිනව සිදු කරන්න.”

    මෙම අවස්ථාවට වල්පොල ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්,  කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල, මාලඹේ ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න,  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරින්, ඩෙංගු මර්දන කාර්ය සහායකයින්, ග්‍රාමීය මව් කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු ප්‍රදේශවාසින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya