ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහනේ පළමු වැඩසටහන මධ්‍යම පළාතෙන් අරඹයි

    දෙසැම්බර් 30, 2023

     

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහනේ පළමු වැඩසටහන ඊයේ දින (29) මධ්‍යම පළාත මුල් කරගෙන ආරම්භ කරන ලදි.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල රෝහල් හා සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් සෞඛ්‍ය පරිපාලකයින් මෙන්ම මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විනි.

    මධ්‍යම පළාත තුළ වෙසෙන ලක්ෂ 25කට ආසන්න ජනතාවකට මධ්‍යම රජය යටතේ පාලනය වන නුවරඑළිය, නාවලපිටිය, ගම්පොල, මාතලේ යන මහරෝහල් සහ මහනුවර ජාතික රෝහල. පේරාදෙණිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය විශේෂිත ශික්ෂණ ළමා රෝහල යන රෝහල් වලින් මෙන්ම මධ්‍යම පළාත් සභාව මගින් පාලනය වන මූලික රෝහල් හතරකින් සහ ග්‍රාමීය මට්ටමේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන 228 කින් සුවසේවාව සපයයි.

    මෙම සියලු ආයතනවලින් මධ්‍යම පළාතේ ජනතාවට සුවසේවා සත්කාර සිදු කිරීමේදි පවතින ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම, ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් යාවත්කාලින කිරීම, මෙන්ම නව වැඩසටහන් හඳුනා ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම හා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ යෝජනා හා අදහස් ලබාගෙන අනාගත සැලසුම් හා වැඩසටහන් සකස් කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ විය.

    මෙහිදී ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වතුකර ජනතාව මුල්කරගෙන පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දරුවන් හා මවුවරුන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වතුකර ජනතාව මෙන්ම ගම්බද ජනතාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය වැඩටහන් දියත් කිරීම, දැනට රෝහල් හා සෞඛ්‍ය ආයතන වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය විමසීම හා ඊට අදාල ගැටලුවලට විසඳුම් ලබාගැනීම, ප්‍රවාහන පහසුකම්, රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින සෞඛ්‍ය වෘත්තික හිඟයට විසදුම් ලබාගැනීම, රෝහල්  සහ සෞඛ්‍ය ආයතන භූමියන්හි අනවසර පදිංචි කරුවන් ඉවත් කිරීම සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම, මානව හා භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ අතර ඒ සඳහා විසඳුම් ලබාගැනීමද සිදුවිය.

    මෙම සාකච්ඡාමය අවස්ථාවෙන් අනතුරුව අදහස් දක්වමින්  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ….

    විමධ්‍යගත විශයක් වන සෞඛ්‍ය විශය පිළිබඳව අප ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සහ ඒවා ජනතාවට ප්‍රේෂණය වන්නේ, සෞඛ්‍ය වෘත්තිකයන් වන ඔබ සැම අතින් වන බවත්, ඊට අදාල වැදගත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් මෙම පළාත් සංවාද වැඩසටහන පවත්වන බවත්, දීර්ඝකාලීනව ද්විතීක සෞඛ්‍ය සේවාවන්හි ප්‍රවර්ධනය වෙනුවෙන්, ඒ සඳහා උපකරණ ලබාගැනීම ඇතුළු විවිධ වැඩසටහන් වලට ලබන වර්ෂයට ලැබී ඇති මුදල් ප්‍රතිපාදන තුළින් අවශ්‍ය දායකත්වය නිබඳව ලබාදෙන බවත් කියා සිටියේය.

    අපට අවශ්‍ය වන්නේ දීර්ඝකාලීනව නිවාරණ වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීමෙන් මෙරට ජනතාව නිරෝගිමත් ජනතාවක් බවට පත් කිරීම බව පෙන්වා දුන් අමාත්‍යාවරයා වැඩි දුරටත් කියා සිටියේ…

    “අපිට ගැටලුවක් පවතින්නේ ප්‍රසම්පාදනයට විශාල කාලයක් ගත වීමයි. අපි බලනවා එය කඩිනම් කරගන්නේ කියලා. සතුටට කරුණක් විදිහට දක්වන්න පුලුවන් බොහෝ තැන් වල ඖෂධ, මූලික ඖෂධ, අත්‍යවශ්‍ය ඖෂධ සියල්ල තිබෙන බව වාර්තා වීම. අනිකුත් අත්‍යවශ්‍ය ඖෂධත් මිලදී ගැනීමට ක්‍රමවේදය අපි කඩිනමින් සකස් කරනවා.

    මානව සම්පත් ගැටලුවේදි වෛද්‍යවරුන්, හෙද හෙදියන් අනෙකුත් තාක්ෂණික ශිල්පීන්, අතුරු හා පරිපූරක වෛද්‍ය මෙන්ම සෞඛ්‍ය සහයකයින්ගේ අඩුවක් තියෙනවා. මෙම සෞඛ්‍ය සේවාව අඛන්ඩව විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පත කළමනාකරණය කරගනිමින් අවශ්‍ය බඳවා ගැනීම සිදුකිරීමට අපි ඉදිරියේදි අඛණ්ඩව කටයුතුකරනවා. 

    වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් වෘත්තිකයන්ගේ  බුද්ධි ගලනය පිළිබඳව විශාල ගැටලුවක් මේ වනවිට මතුවෙලා තියෙනවා. මෙරට තුළ තම සේවාව කිරීමට කැමති පිරිසකුත් අපේ රටේ සිටිනවා. අපේ සෞඛ්‍ය පද්ධතියේ විශිෂ්ට ලක්ෂණය නම් අතිවිශිෂ්ට මානව සම්පතක් අප සතුව සිටීමයි. ඉතාම ඉක්මනින් කළමනාකරණය කරගෙන යථාවත් කරගන්න පුලුවන් ශක්තිමත් අභ්‍යන්තර ක්‍රමවේදයක් ඒ තුළ තිබෙනවා. ඔබ ලබාදෙන විශිෂ්ට සහයෝගය මත මෙම පද්ධතිය යාවත්කාලින කරන්න අපට අපහසු නැහැ.” යනුවෙන් ද පැවසිය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය  යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය අධිකාරිවරුන්, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක්ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya