ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ලංගමට වෙනස් නොවන නව සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා

    ජනවාරි 08, 2024

    එළඹෙන නිදහස් දිනයට පෙර ආණ්ඩු වෙනස් වුවත් වෙනස් නොවන නව සේවා ව්‍යවස්ථාවක් ලංගම ට හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ලංකා ගමනාගමන මණ්ඩලයට වසර හැට හයක් සපිරීම නිමිත්තෙන්, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මැදවච්චිය ප්‍රාදේශීය වැඩ බිම් පරිශ්‍රයේදී ඊයේ(07)  සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවයට එක් වෙමිණි.

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමරු උත්සවයට සමගාමීව ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවීම සඳහා මූලිකත්වය ගත් එවක ප්‍රවාහන අමාත්‍ය ධුරය දරු මෛත්‍රිපාල සේනානායක මහතා අනුස්මරණය කරමින් මැදවච්චිය ලංගම ප්‍රාදේශීය වැඩපොළ "මෛත්‍රීපාල සේනානායක ඉංජිනේරුමය නිෂ්පාදන කර්මාන්තශාලාව" ලෙස නම්කර සමරු පලකය නිරාවරණය කිරීම ද සිදුවිය. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, එවකට අග්‍රාමාත්‍යය එස්.ඩබ්. ආර්. ඩී.බණ්ඩාරනායක ජනසතු සේවාවන් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල යටතේ  ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට උරදුන් හිටපු අමාත්‍ය මෛත්‍රිපල සේනානායක මහතාට ගෞරව පිණිස මෙවර 66 වන ජාතික සංවර්ධන  උත්සවය මැදවච්චිය ප්‍රදේශයේදී සංවිධානය කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

    උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    " මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ගමන් මග වෙනස් වීම ආරම්භ වූයේ ඓතිහාසික රජ රට පුරවරයෙන්. එම ඉතිහාසයේ එක් සුවිශේෂී යුගයක් 1956න් ආරම්භ වුණා. ඒ වන විට ලෝකයේ වෙළඳපොළ ධනවාදී ආර්ථික ක්‍රමය සහ මධ්‍යගත සැලසුම් සමාජවාදී ආර්ථික ක්‍රමය වශයෙන් ප්‍රධාන ආර්ථික ක්‍රම දෙකක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව යමින් බණ්ඩාරනායක පාලන සමයේදී ශ්‍රී ලංකාවද ජනසතු සේවා ක්‍රමය ආරම්භ කරමින් පුද්ගලික අංශයට වඩා හොඳ පොදු  ජන සේවාවක් ලබාදීම ක්‍රියාත්මක කරනු ලැබුවා. එම යුග මෙහෙවරට අයෝමය නායකත්වයක්‌ ලබා දුන් රජරටින් බිහිවූ මෛත්‍රීපාල සේනානායක මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ඉටුකළ මෙහෙවර අප සැම කෘතගුණ පුර්වකව සිහිපත් කළ යුතුයි. එතුමාට ගෞරවයක්‌ ලෙස මැදවච්චිය වැඩපල "මෛත්‍රීපාල සේනානායක ඉංජිනේරුමය නිෂ්පාදන කර්මාන්තශාලාව" ලෙස නම්කර මේ වසර තුළ අප සතු ප්‍රධානම කර්මාන්තශාලාවක් බවට පත්කිරීම මේ වර්ෂය තුළ සිදුකරනවා.

     රාජ්‍ය සේවයේ ඉහළම පළපුරුද්දක්‌ සහිත නිලධාරියකු වන වත්මන් සභාපතිවරයාට මෙම ආයතනය යළි ගොඩනැගීම සඳහා වන වගකීම භාර දී තිබෙනවා. ඒ අනුව දීර්ඝ කාලයක් පැවැති ගැටලු රැසකට විසඳුම් සැපයීම මේ යටතේ ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ බඳවා ගැනීම්, උසස් වීම්, මාරුවීම් ආදිය සඳහා නිසි සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා විශාල උත්සහයක්‌ දැරීමෙන් අනතුරුව තවත් වැඩ කොටස් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා. එයද සම්පූර්ණ කරමින් එළඹෙන නිදහස් දිනයට පෙර එම සේවා ව්‍යවස්ථාව හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඒ අනුව අමාත්‍යවරුන්, ආණ්ඩු වෙනස් වුවත් වෙනස් නොවෙන සේවා ව්‍යවස්ථාවක් ජනතාව වෙත ලබාදීම අපේ අරමුණයි.

     ආයතනයේ සියලු දෙනා ආදර්ශමත් ලෙස වැඩකටයුතු සිදු කිරීම තුළින් 2024 වසර සමස්ත ලංගම ලබන ආදර්ශමත් ආයතනයක තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කළ යුතුයි. පසුගිය නිදහස් සමරුවට සමගාමීව නව බස්රථ පන්සියයක් ලංකාවේ සියලුම ඩිපෝ වෙත ලබාදුන් ආකාරයටම මේ වසරේ නව බස් රථ දහසක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

     එමෙන්ම ලෝකයේ බොහොමයක් දියුණු රටවල් අනුගමනය කරන ආකාරයටම මෙරට පොදු ප්‍රවාහන සේවාවන් සඳහා විදුලි බස්රථ හඳුන්වා දෙන වසර බවට 2024 පත්කිරීමට අප කටයුතු කරනවා. කාර්ය මණ්ඩලයෙන් ඉතාමත් අතළොස්වක පිරිසක් සිදු කරන මුල්‍ය වංචා සහ දූෂණ වැලැක්වීම සඳහා ඊ ටිකටින් ව්‍යාපෘතිය ඉදිරි මාස කීහිපය  තුල ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් මා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ තුළින් ලංගමය මේ වසර තුළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ තුලින් 67 වන සංවත්සරය වන විට වැඩිම ජනතා සේවයක් සලසන රාජ්‍ය ආයතනය බවට ලංගම පත් කිරීමට හැකි වනු ඇති.

     සියලු දෙනාගේම දායකත්වයෙන් පසුගිය වසරේ ළඟාවීමට නොහැකි වූ ඉලක්කයන් වෙත ළඟාවවීම උදෙසා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය සියලු දෙනා වෙත ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. "

    සමරු වැඩසටහන යටතේ ආයතනයේ ප්‍රගමණය උදෙසා කැපවූ කාර්ය මණ්ඩල සාමාජිකයින් අගයමින් "විශිෂ්ඨතා ශක්ති ප්‍රණාම තිළිණ" පිරිනැමීමද අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින්ගේ සුරතින් සිදුකෙරිණි.

     සංවත්සර උත්සවය සිහිපත්වනු පිණිස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිෂ්පාදන කර්මාන්ත ශාලා පරිශ්‍රයෙහි පොල් පැලයක් රෝපණය කිරීමද සිදු විය.

    ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා, ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, හිටපු අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.චන්ද්‍රසේන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතා,  හිටපු අමාත්‍ය  එච්. බී. සේමසිංහ මහතා, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා, ආයතනයේ සේවය කළ හිටපු සභාපතිවරුන් ඇතුළු නිලධාරීන්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya