හෝමාගම පැළැටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් අද සැමරුම් උත්සවයක් පැවති අතර, ඊට සමගාමීව මෙම නව ප්‍රභේද හඳුන්වා දීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නව දෙළුම් ප්‍රභේද දෙක වගාව සඳහා ගොවීන්ට ලබා දීම ද අමාත්‍යවරයා අතින් අද සිදු විය.
දෙළුම් ගසක ආයූ කාලය වසර 30ක් වන අතර, එක ගසකින් වසරකට දෙළුම් කිලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි බවත් අක්කරයකට ගස් 400ක් වගා කළ හැකි අතර, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන අටක ආදායමක් ඉපයිය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දේ.
විශේෂයෙන් මෙම දෙළුම් වර්ග දෙක වියළි කලාපයේ වගාවට සුදුසු වන අතර, දැනට ආනයනය කරන රතු පැහැති දෙළුම් ප්‍රභේදවලට විකල්පයක් වශයෙන් මෙම දෙළුම් ප්‍රභේද යොදා ගැනීමට හැකිවන නිසා දෙළුම් ආනයනය සඳහා වැයවන මුදල අප රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙරට වගා කළ හැකි එහෙත් විදෙස් රටවලින් ආනයනය කරන කෘෂිකාර්මික බෝග තවදුරටත් ආනයනය කිරීම වළක්වා ගැනීම සඳහාත්, අපනයනය කළ හැකි බෝග වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහාත් අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සහ මෙම දෙළුම් ප්‍රභේද හඳුන්වා දුන් කෘෂි පර්යේෂණ විද්‍යාඥ ලංකා සමන්මලී මහත්මිය සහ පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය වින්ද්‍යා බස්නායක මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී විය.