ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා සදාචාරාත්මක මාධ්‍ය භාවිතය විශාල බලපෑමක්සිදු කරනවා

    පෙබරවාරි 07, 2024

    යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා සදාචාරාත්මක මාධ්‍ය භාවිතය විශාල බලපෑමක්සිදු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා. පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ප්‍රවීණ මාධ්‍යවේදියකු වන එම්. ඉන්ද්‍රජිත් මහතා විසින් රචිත " මාධ්‍ය මග " කෘතිය ජනගත කිරීමේ උත්සවයට ඒක්වෙමිණි. මාධ්‍ය භාවිතයේ වර්ධනය විය යුතු ආචාර ධර්ම ඇතුළු කරුණු රැසක් අන්තර්ගත කරමින් ද්‍රවිඩ භාෂාවෙන් රචනා කරන ලද මෙම කෘතියේ සිංහල පරිවර්තනය මෙලෙස එළි දක්වන ලදි.

     එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "ඕනෑම රටක ජන වර්ගය තීරණය කරනු ලබන්නේ තමන් භාවිතා කරන මව් භාෂාව අනුවයි. සිංහල භාෂාවෙන් කතා කරන පිරිස සිංහලෙන් ලෙසත් දමිළ භාෂාවෙන් කතා කරන පිරිස දමිල ලෙසත්, ජපන් භාෂාවෙන් කතා කරන පිරිස ජපන් ලෙසත් විවිධ රටවල භාවිතා කරන භාෂාව අනුව ජන වර්ග හඳුන්වා තිබෙනවා.

     අපේ රටේ ප්‍රධාන ජන වර්ග දෙක වන සිංහල සහ දෙමළ ජනවර්ග අතර අන්‍යෝන්‍ය සහයෝගය, සුහදතාවය, සහජීවනය, මිත්‍රත්වය, සහෝදරත්වය ඇතිවීම සඳහා මේ ද්වී භාෂාවන්ම භාවිත කිරීම අතිශයින්ම වැදගත්. අපේ පාසල් ශිෂ්‍ය අවධියේදී ද්‍රවිඩ භාෂාව හැදෑරීම සඳහා අපට අවස්ථාවක් හිමි වුණේ නැහැ. නමුත් වර්තමානය වන විට සෑම රජයේ පාසලකම රාජ්‍ය භාෂාවන් ලෙස සිංහල සහ දෙමළ භාෂාවත් සම්බන්ධීකරණ භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාවත් ඉගැන්වීම අතිශයින්ම කාලෝචිත කරුණක්.

     වර්තමානය තුළ සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් සත් සමාජයක් බිහිවීම කෙරෙහි අතිශයින් විශාල බලපෑමක් සිදුකරන බව මා විශ්වාස කරනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ජන වර්ග අතර වෛරයක් ඇතිවන ආකාරයෙන්, ආගම් අතර වෛරයක් ඇතිවන ආකාරයෙන්, පන්ති කුල ආදි වශයෙන් පුද්ගල අනුබද්ධ වෛරයන් ඇතිවන ආකාරයෙන් මාධ්‍ය මෙහෙයවීම හේතුවෙන් ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූ සමාජයක අත්දැකීම් අපට උරුම වෙමින් පවතිනවා. එබැවින් බුදුරජාණන් වහන්සේ ඇතුළු අනෙකුත් සියලුම ආගමික ශාස්තෘවරුන් දේශනා කොට ඇති පරිදි වෛරයෙන්, වෛරය නොසන්සිඳෙන තත්ත්වයක් තුළ , වෛරයෙන් මුසපත් මාධ්‍ය භාවිතා කිරීම තුළ අපේ රට තුළ නිරායුධ අවිහිංසක විශාල පිරිසක් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වුණා. ඒ හේතුවෙන්ම උසස් දියුණු මාධ්‍ය සංස්කෘතියක් සඳහා, සංස්කෘතිකමය අපගමනයක්, සදාචාරාත්මක පිරිහීමක්  සහ මනුෂ්‍යත්වයේ දරුණු නාය යෑමක් සිදුවෙමින් පවතින අවස්ථාවක මාධ්‍යකරුවා සතු වගකීම අතිශයින් විශාල බව මා විශ්වාස කරනවා."

    වැඩසටහනේ ප්‍රධාන දේශනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසුරිය මහතා විසින් සිදු කරන ලදි.

    හිටපු ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, අරුන් ගංගාදරන් මහතා ඇතුළු ආරාධිත ඉන්දීය මාධ්‍යවේදීන්,AMCA සහ PEN SRI LANAKA සංවිධානයේ නිලධාරීන් ඇතුළු සමාජිකයින් සහ ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya