ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය අමාත්‍යවරයා මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහල් වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක

    පෙබරවාරි 16, 2024

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ දින (15) පස්වරුවේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල  සහ බිබිල සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ විශේෂ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. එම වැඩපිලිවෙලට සමගාමීව අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.

    මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, විශේෂ සත්කාර ළදරු ඒකක, ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ඖෂධාගාර ඇතුළු අංශ අමාත්‍යවරයා ප්‍රධාන  නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

    රෝහල් නිරීක්ෂණ චාරිකා වලින් අනතුරුව අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට ද කටයුතු කරන ලදී.

    එහිදී, බිබිල මහාචාර්ය සේනක බිබිලේ මුලික රෝහල මේ වන විට B ශ්‍රේණියේ මුලික රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ප්‍රදේශයේ  ස්වාමීන්ද්‍රයන්වහන්සේ ලා එම රෝහල A ශ්‍රේණියේ මුලික රෝහලක් බවට පත් කර දෙන ලෙසට ඉල්ලීමක් කලේය.

    එයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බිබිල රෝහල A ශ්‍රේණියේ මුලික රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවයි.

    එමෙන්ම  මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට හා බිබිල, මහාචාර්ය සේනක බිබිලේ මුලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබා දීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කල අමාත්‍යවරයා රෝහල් වලට අවශ්‍ය මානව සම්පත ද ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

    මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර නවීකරණය කර නවීන වෛද්‍ය උපකරණ සවිකර ස්ථාපිත කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවද පැවසු අමාත්‍යවරයා රෝහලේ ඉදි වෙමින් පවතින ශල්‍යාගාර පහසුකම් සහිත ශල්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පවසන ලදී.

    රෝහල් පින්තාරු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීම සදහා රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව පැවසු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව විශිෂ්ඨ මානව සම්පතක් සිටින බවත්,  භෞතික සම්පත් ද   අවශ්‍ය ප්‍රමාණයට තිබෙන බවද පෙන්වා දුන් අතර මෙරට ග්‍රාමීය ජනතාවට ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අවශ්‍ය මානව සම්පත මෙන්ම භෞතික සම්පත් හා වෛද්‍ය උපකරණ ලබා දීමට තමන් නොපැකිලිව කටයුතු කරන බවද කීවේය.

    1876 වර්ෂයේ දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කෙරුණු මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල මේ වන විට නේවාසික රෝගීන් 578 දෙනෙකුට නේවාසික ප්‍රතිකාර පහසුකම් ලබා දීමේ හැකියාව ඇත. දිනකට බාහිර රෝගී අංශයෙන් හා සායන මගින් දහසකට ආසන්න ජනතාවකට සුව සේවා සත්කාරය සපයයි.

    බිබිල, මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහල 1932 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර, 1942 දිසා රෝහලක් ලෙසත් 2007 වර්ෂයේ දී මුලික රෝහලක් ලෙසත් උසස් වී ඇත. B ශ්‍රේණියේ මුලික රෝහලක් වන එය 2022 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මුලික රෝහල ලෙස නම් කෙරිණි. රෝහලේ නේවාසික ඇදන් ධාරිතාවය 267 කි.

    මෙම නිරීක්ෂණ චාරිකාවක් සදහා ඌව පලාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාරසිරි රත්නායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඌව පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජේ.සී.එම්. තෙන්නකෝන්, මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.ඩී. රත්නායක, බිබිල මහාචාර්ය සේනක බිබිලේ මුලික රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය සතීෂ් කුමාර් යන මහත්ම මහත්මින්ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සහභාගී වුහ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya