1893 ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ආකර්ෂණීයම දුම්රිය ස්ථාන අතරින් එකක් වන බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය පරිහරණය කරන විදේශීය සංචාරකයින් ඇතුළු මගී ජනතාව වෙනුවෙන් සලසන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහිතව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කර තිබේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය පදනම් කර ගනිමින් ප්‍රදේශයට නව අගයක් එකතු වන මෙම අවස්ථාවට දායක වීමට ලැබීම පිළිබඳව විෂය භාර ඇමැතිවරයා ලෙස මා සතුටට පත්වනවා. උඩරට දුම්රිය මාර්ගය පදනම් කර ගනිමින් මෙම ප්‍රදේශය ලෝකය පුරා සංචාරකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ තුළින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් හරහා විශාල ඩොලර් ආදායමක් රටට හිමි වනවා මෙන්ම ප්‍රදේශයේ නිෂ්පාදන සඳහා ද විශාල ඉල්ලුමක් සහ ආයෝජන ප්‍රමාණයක් ඇති වෙනවා. ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. එය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල ලෙස උපකාරි වෙනවා.
සංචාරකයන් ඉලක්ක කරගත් ඉහළ ගුණාත්මක පහසුකම් ප්‍රදේශය තුළ වඩා වර්ධනය කිරීම තුළින් සංචාරක ආකර්ෂණය ද වැඩි කර ගත හැකි වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට සංචාරක ආකර්ෂණය සඳහා විශාල ආයෝජනයක් සිදු කිරීම සඳහා මූල්‍ය තත්ත්වයේ ගැටලු පවතිනවා. විෂය භාර ඇමැතිවරයා ලෙස මා මේ අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 2.6යි. එයින් 2.3ක් අතිකාල දීමනා සඳහා වැය වුණා. වැටුප් බිලියන 7යි. බිලියන දහයකට වඩා වැඩි අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුව දරනු ලැබුවා. දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ දායකත්වය ද ලබා ගනිමින් අප ක්‍රියාත්මක කළ නව වැඩ පිළිවෙළ තුළින් ආදායම බිලියන 13ක් දක්වා වැඩි කර තිබෙනවා. වාර්ෂික වියදම බිලියන 36 දක්වා අඩු කර තිබෙනවා.
රටක් වශයෙන් මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සපයා ගැනීම සඳහා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමට නොහැකි අවස්ථාවක දේශීය පෞද්ගලික අංශය සමඟ හෝ විදේශීය ආයෝජකයන් සමඟ එක්ව මෙම තත්ත්වයෙන් මිදීමට මාර්ග සොයාගත යුතුයි. ඒ අනුව සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් වර්ධනය කිරීම සඳහා දායක වූ සංචාරක මණ්ඩලයට ද මාගේ ස්තුතිය පිරිනමනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියන 15ක ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන පහක ප්‍රතිපාදන යොදවමින් රුපියල් මිලියන 20ක් වැය කර මේ නව පහසුකම් දුම්රිය ස්ථානයේ ස්ථාපනය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වැඩිම ඉඩම් ප්‍රමාණයක අයිතිය පවතින දෙපාර්තමේන්තුව ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට ඊට වඩා විශාල ආදායම් ඉපයීමේ හැකියාවක් පවතිනවා. නමුත් අනවසර අත්පත් කර ගැනීම් සහ අයථා ක්‍රියා සඳහා යොදවා ගැනීම හේතුවෙන් මේ මහා සම්පතින් ලබා ගත හැකි වාණිජමය ප්‍රයෝජන ලබා ගැනීම මඟහැරී තිබෙනවා. මේ කරුණු පිළිබඳ ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලයේ ද අවධානය යොමු කරමින් පසුගිය අය වැය යෝජනා සඳහා දුම්රිය ස්ථාන පදනම් කරගත් ස්ටේෂන් ප්ලාසා සංකල්පය ඇතුළත් කර තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල දුම්රිය ස්ථාන පදනම් කරමින් මෙවැනි ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දුම්රිය මෙහෙයුම් කටයුතුවලට අවශ්‍ය පහසුකම්වලට ඉඩ ලබා දෙන අතර, අනෙකුත් ස්ථාන සඳහා ඕනෑම ඵලදායී ආයෝජන ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය සහිතව දිගුකාලීන බදු පදනම යටතේ ඉඩ ලබා දීමට අප පියවර ගන්නවා. ඒ සඳහා විනිවිද පෙනෙනසුලු ක්‍රමවේදයක් අවශ්‍යයි. දේශපාලන සබඳතා හිතවත්කම් හෝ වෙනත් ලාභ අපේක්ෂාවන් සඳහා මෙම ඉඩම් භාවිත කළහොත් එය විශාල අපරාධයක්.
එම නිසා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලෙස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමඟ ඒකාබද්ධව ස්ටේෂන් ප්ලාසා සංකල්පය සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම අනවසරයෙන් වසර දහයකට වඩා වැඩි කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල පදිංචිව සිටින ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින පිරිස් සඳහා වර්තමාන තක්සේරුව අනුව එම සියලුම දෙනා බදු ගෙවන්නන් බවට පත් කිරීමට අප පියවර ගන්නවා. වසර දහයකට වඩා අඩු කාලයක් අනවසරයෙන් පදිංචිව සිටින, අත්පත් කරගෙන සිටින පිරිස් සඳහා නඩු පැවරීමට පියවර ගන්නවා.
මේ වටිනා භූමි සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඵලදායී ව්‍යාපෘති ඉදිරිපත් කරන, ඒ සඳහා කැපවන නිලධාරීන්ට විශේෂ දිරිගැන්වීම් සහ ඇගයීම් සිදු කිරීමටත් අප කටයුතු කරනවා. ඒ ආකාරයෙන්ම රටේ සියලුම දෙනාත් රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සිය දායකත්වය ලබා දෙන්නේ නම්, වඩාත් යහපත් හෙට දිනයක් උදා කර ගැනීමට අපට හැකිවනු ඇති.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය , දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ, ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සම්පත් ප්‍රදීප් කුමාර නිශ්ශංක මහත්වරු ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.