ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විශ්‍රාමික රණවිරුවන් මුහුණ දෙන ගැටළු, සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

    මැයි 21, 2024
    මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් සටන් වැද දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සමීපතමයන් රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අවස්ථා බොහොමයක් නිරීක්ෂණය වී ඇත. 
     
    ඔවුන්ගේ සුභසාධන හා පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් වලදී එම රණවිරුවන් විසින් ඉදිරිපත් කල ගැටළු අතර ද මේ සඳහා ප්‍රමුඛත්වයක් හිමි විය.
     
    යුධ සමයේ සහ විජයග්‍රහණයෙන් වසර කිහිපයක් යනතුරු හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල් වල සමීපතමයන් වෙත සමාජයේ ඉහළ පිළිගැනීමක් පැවතියද අද වන විට එය ක්‍රමයෙන් හීන වෙමින් පවතී. ඇතැමුන්ට මේ රටේ යුද්ධයක් තිබූ බව පවා අමතකව වී ඇත. 
     
    විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, රජයේ රෝහල් මගින් පහසුකම් ලබා ගැනීමේදී ඇතැම් රණවිරුවන් හට රෝද පුටුවේ රැඳී සිටිමින් හෝ කිහිලිකරුවෙන් නැගී සිටිමින් ඔවුන් මුහුණ දෙන අසීරු තත්වයන් යටතේ පවා දිගු පෝලිම් වල රැඳී සිට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත.
     
    ඇතැම් අවස්ථා වලදී දුර බැහැර ප්‍රදේශ වල සිට ප්‍රතිකාර සඳහා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගර වෙත පැමිණීමට සිදු වන අතර එවැනි අවස්ථා වලදී ආබාධ සහිත රණවිරුවන් දිගු පෝලිම් වල රැඳී සිටීමෙන් තවදුරටත් ඔවුන්  අපහසුතාවයට පත් වේ.
     
    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, දැනට පවතින මෙම තත්වය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව එම ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය, ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා අද (මැයි 20) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී හමු විය.
     
    මෙහිදී රටේ යහපත වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සමීපතමයන් රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී සිදු වන ගැටළු මඟ හරවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ මෙන්ම ඔවුන්ට එම පහසුකම් ලබා ගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන 'සුවවිරු කාඩ්පත්'  නැවත සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය පිලිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya