ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් රුසියාව බලා යාමේදී ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය ලබාගැනීම අත්‍යවශ්‍යයි

    මැයි 31, 2024

    සංචාරක වීසා මත රුසියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් මෙරටින් පිටත්ව යන්නේ සංචාරයක් සඳහා බවට ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය ලබාගැනීම අත්‍යවශ්‍ය බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවේ කුලී හේවායන් වශයෙන් කටයුතු කිරීම සහ ඔවුන් මුහුණදෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා ඊයේ (30)විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    සංචාරක වීසා මත විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියාව බලා පිටත්ව යෑම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව ද යුක්රේනයට එරෙහිව ක්‍රියාත්මක යුද මෙහෙයුම් සඳහා එක්ව සිටින ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉවත් කරන්නැයි ශ්‍රී ලංකාව, රුසියානු රජයෙන් ඉල්ලීමක් කරන බව ද විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා වැඩිදුරටත් පවසයි.

    එම හමුදා සාමාජිකයන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව පෙන්වාදෙන ඒ මහතා දැනටමත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වී මේ පිළිබඳ කටයුතු කරන බව ද ඒ සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන 05 වැනිදා සිට 07 වැනිදා තෙක් ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් රුසියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙන බව ද පෙන්වා දෙයි. ඊට අමතරව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළුව රුසියානු බලධාරීන් සමඟ එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටී.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා පෙන්වා දුන්නේ රුසියා – යුක්රේන යුද ගැටුම්වලට මැදිවී සිටින ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් මුදා ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන වශයෙන් කරුණු තුනක් කෙරෙහි අවධානය යොමුකර තිබෙන බවත් මේ වන විට ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින ශ්‍රී ලාංකිකයන් එයින් ඉවත් කර ගැනීම, තුවාල ලැබූවන් මෙරටට ගෙන්වා ගැනීම සහ අකමැත්තෙන් රුසියාවේ රැඳී සිටින පුද්ගලයන් ද යළි ගෙන්වා ගැනීමට පියවර ගැනීම ඒ අතර වන බවත්ය.

    කෙසේ වුවද මේ වන විට රුසියානු හමුදාවට එක්ව යුක්රේනයට එරෙහිව සටන්වදින විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් පැමිණිලි 455ක් ලැබී තිබෙන බව ද තුවාල ලැබූවන් 37ක් සහ 16 දෙනකු අතුරුදන් බවට වාර්තා වන බව ද සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා රුසියාවේ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මොවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද පැවසීය.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සිතාරා ඛාන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන නිලූක කඳුරුගමුව, සොබිනි ගුණසේකර, ඒ.එස්.කේ සෙනෙවිරත්න, මධුක වික්‍රමාරච්චි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya