ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 23ක පුද්ගලයන් 87379ක් පීඩාවට

    ජූනි 03, 2024

     අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 251ක පවුල් 23723ක පුද්ගලයින් 87379ක් පීඩාවට පත්වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රටෙහි වර්තමානයේ උද්ගත වී ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අනෙකුත් පළාත් වලින් සුළු තත්ත්වයන් වාර්තා වුවද බස්නාහිර සබරගමු සහ දකුණු පළාතේ තත්ත්වය මීට වඩා වෙනස් බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක 03මද, සබරගමු පළාතේ කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්ක 02හිද, දකුණු පළාතේ මාතර, ගාල්ල දිස්ත්‍රික්ක දෙකෙහිද මෙම ආපදා තත්ත්වය වෙන ස්ථාන වලට වැඩියෙන් නිරීක්ෂණය වන බව අවධාරණය කළේය.

    කුරුණෑගල, බදුල්ල, නුවර එළිය සුළු සිද්ධීන් වාර්තා වන බවද, දැනට ලැබී ඇති තොරතුරු අනූව 12 දෙනෙකු මියගොස් ඇතැයිද 05 දෙනෙකු අතුරුදහන්ව ඇතැයිද සදහන් කළේය.

    දැනට සහන මධ්‍යස්ථාන 119ක් රටපුරා ක්‍රියාත්මක වන බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවුල් 2313ක 23706ක් මෙම සහන මධ්‍යස්ථාන වල සිටින බවද පැවසුවේය. රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට සහන මධ්‍යස්ථාන 29ක්, පවුල් 830ක් 3400ක පමණ පිරිසක් සිටින බවද මාතර සහන මධ්‍යස්ථාන 07ක පවුල් 92ක පුද්ගලයින් 391ක් සිටින බවද කලුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 46ක පවුල් 703ක 2651ක් පුද්ගලයින් සිටින බවද ගාල්ලේ මධ්‍යස්ථාන 05ක පවුල් 25ක පුද්ගලයින් 608ක් සිටින බවද කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 11ක පවුල් 252ක් සිටින බවද සදහන් කළේය.

    දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීවරුන්ට, සංවර්ධන නිලධාරීවරුන්ට, සමෘද්ධී සංවර්ධන නිලධාරීවරු, කෘෂි පර්යේෂණ නිලධාරීවරු, ඇතුළු සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ට, ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීවරුන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීවරුන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු රාජ්‍ය සේවයේ සියලුම දෙනාට විශේෂ ස්තුතියක් පිරිනැමීමටද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අමතක නොකළේය.

    ආපදා සිදුවූ දිස්ත්‍රික්ක වල යුධ හමුදාව, නාවික හමුදාව විශේෂ පිරිස් ස්ථානගත කර ඇතැයිද, මෙම වෙලාවේ පිරිස් ආරක්ෂිත ස්ථාන වලට රැගෙන යාම සදහා නාවික හමුදාව විශාල කර්තව්‍යයක් සිදුකරන බවද පැවසූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවශ්‍ය සහයෝගය ලබාදීමට ගුවන් හමුදාව හෙලිකොප්ටර් 03ක් ස්ථානගත කර ඇතැයිද මෙම දිස්ත්‍රික්ක වල ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මොවුන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවේය.

    මුදල් අමාත්‍යංශයට, භාණ්ඩාගාරයට, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාෙද්ශීය ලේකම්වරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරදී අදාල සහයෝග ලබාදී අවශ්‍ය සහන සැලසීම සදහා ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් ලැබී ඇතැයිද අවධාරණය කළේය.

    දැනට මෙම සහන මධ්‍යස්ථාන වල සිටිනා සියලුම පුද්ගලයන් වෙත පිසූ ආහාර වේලක් තුන් වේලම ලබාදීමට කටයුතු කරගෙන යන බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන් නිවෙස් වල ආරක්ෂාව පිළිබද සැලකිළිමත් වන ඇතැම් පිරිස් එම නිවෙස් වලින් එළියට නොපැමිණ පහළ තට්ටුව යට වුවහොත් උඩ තට්ටුවෙහි ගතකරන වාතාවරණයක් නිරීක්ෂණය වන බවද ඔවුන්ටද ආහාර බෝට්ටු මගින් ලබාදෙන බවද පැවසුවේය.

    ප්‍රාදේශීය ලේකම්තුමන්ලා මෙම සහන මධ්‍යස්ථාන භාරව කටයුතු කරන බවද ලැබෙන තොරතුරු සහ අවශ්‍යතාවය අනූව බෝට්ටු බෆල් සහ බෝට්ටු යාමට අපහසු ස්ථාන සදහා පාරු, ඔරු ආදී පහසුකම් අවශ්‍යතාවය පරිදි  ත්‍රිවිධ හමුදාවෙන් සපයා ඇතැයිද පැවසුවේය.

    දැනට අවශ්‍ය සහන ලබාදීම සදහා රුපියල් මිලියන 122ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදී ඇතැයිද ඔවුන් ඉල්ලන පරිදි සහන සැලසීමට මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට කටයුතු කරමින් යන බවද කියා සිටියේය.

    උදෑසන අධ්‍යාපන ඇමතිතුමා සමග සාකච්ඡා කළ බව පැවසූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා අවතැන් වී සහන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අද සෞඛ්‍ය ඇමතිතුමා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය.

    කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතනයන්ට අනූව විශේෂයෙන් ඉදිරි දින 02හි වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya