ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කඳුකර දශකය යටතේ රුපියල් මිලියන 9,622ක් වැය කර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 97ක ව්‍යාපෘති 14,088ක් ආරම්භ කර තිබෙනවා

    ජූනි 20, 2024

    කඳුකර දශකය දසවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 97ක ව්‍යාපෘති 14,088ක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා මෙම වසරේ රුපියල් මිලියන 9,622ක මූල්‍ය ප්‍රතිපාදන නිකුත් කර ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා පැවසීය.

    එසේම යුද්ධයෙන් අවතැන්වූ ජනතාවගේ නිවාස අවශ්‍යතාවයෙන් 89% ක් 2023 වසර අවසන් වන විට සම්පූර්ණ කර ඇති බවත් ඒ යටතේ නැවත පදිංචි කිරීමේ සමස්ත වැඩපිළිවෙල තුළ මේ දක්වා පවුල් 275,127 ක් පදිංචි කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා මෙසේද පැවසීය,

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ප්‍රධාන ක්ෂේත්‍ර වන්නේ නාගරික සංවර්ධනය, නිවාස හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රයි. අප අමාත්‍යාංශය විසින් 2023 වසර අවසන් වන විට යුද්ධයෙන් අවතැන්වූවන් සඳහා නිවාස 151,662 ක් ඉදිකර තිබෙනවා.

    දේශීය අරමුදල් වලට අමතරව ඉන්දියානු ආධාර, දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ඇතිව මෙම නිවාස ඉදිකිරීම් සිදු කරනු ලැබුවා. යුද්ධයෙන් අවතැන් වූවන්ට නිවාස අවශ්‍යතාවයෙන් 89% ක් ඒ අනුව සම්පූර්ණ කර තිබෙනවා. තවදුරටත් තාවකාලික නිවාසවල පදිංචි මුල් පවුල් සඳහා ඉදිකළ යුතු බවට හඳුනාගෙන ඇති නිවාස සංඛ්‍යාව 18,613 ක් වනවා. එය සමස්ථයක් ලෙස දැක්වුවහොත් 11% ක ප්‍රතිශතයක් පමණයි.

    නැවත පදිංචි කිරීමේ සමස්ත වැඩපිළිවෙල අනුව මේ දක්වා පදිංචි කර ඇති මුළු පවුල් සංඛ්‍යාව 275,127 ක් වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත පදිංචි කිරීම සහ නැවත පදිංචි කිරීම කඩිනම් කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබෙනවා. මෙම ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මෙම වසරේදී අවතැන් වූ පවුල් සඳහා පිරිසිදු පානීය ජලය හා ගෘහස්ත විදුලි සම්බන්ධතාවය ලබා දීමද සිදු කෙරෙනවා.

    විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබෙන වකුගඩු රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැනෝ ජල පිරිපහදු ඒකක 50 ක් ඉදිකරමින් පවතිනවා. එසේම මෙරට බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීමේ වගකීම දරන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයයි. 2028 මාර්තු 23 වන දිනට වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව මේ වනවිට උතුරු නැගෙනහිර වර්ග කිලෝ මීටර් 131,969 ක බිම් බෝම්බ ඉවත් කර ඇති අතර තවත් බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ වර්ග කිලෝ මීටර් 25.09 ක පමණයි. ඒ සඳහා මේ වසරේ රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන ලැබී තිබෙනවා.

    මීට අමතරව අප අමාත්‍යාංශය යටතේ විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. බස්නාහිර ප්‍රදේශ මහ නගර ප්‍රධාන සැලැස්ම, නැගෙනහිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධන කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම, හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම හා ප්‍රධාන සංවර්ධන සැලැස්ම සකස් කිරීම, තිරසර සංචාරක සංවර්ධන නාගරික සංවර්ධන ව්‍යාපෘතිය කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීමේ ව්‍යාපෘතිය හා අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ආදි ව්‍යාපෘති ඒ අතර වනවා.

    තවද කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.

    මේ අතරින් ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වී තිබෙන කඳුකර දශකය දසවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සඳහා මේ වසරේ ද රුපියල් මිලියන දස දහසක් වෙන් කර තිබෙනවා. එමඟින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 97ක ව්‍යාපෘති 14,088ක් මේ වන විට ආරම්භ කර ඇති අතර රුපියල් මිලියන 9,622ක් මේ වන විට මේ ව්‍යාපෘති සඳහා මුදා හැර තිබෙනවා.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා,

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පසුගිය කාලය තුළ සිදු කළ ව්‍යාපෘති රැසක් ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය නිසා පසුබෑමකට ලක්වුණා. එසේ වුවත් පසුගිය වසර 02තුළ රුපියල් මිලියන 10,288ක මුදලක් ප්‍රතිලාභී පවුල් 18,123ක් සඳහා නිවාස ආධාර වශයෙන් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව දැනට පවුල් 16,670ක සිය නිවාස සිහිනය සැබෑ කර දී තිබෙනවා. තවද පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 50දෙනකු සඳහා රුපියල් මිලියන 52.05ක් වටිනා නිවාස ආධාර අප විසින් ලබා දී තිබෙනවා.

    එසේම ඉන්දියානු රජයේ ආධාර මත ක්‍රියාත්මකව තිබූ නිවාස වැඩසටහන යටතේ නිවාස 2,072ක ඉදිකිරීම් ආරම්භ වූ අතර ඉන් නිවාස 732ක් ඉදිකර අවසන් කර තිබෙනවා. ඉන්දියානු රජය රුපියල් මිලියන 1,244ක මුදලක් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබා දී තිබෙනවා.

    තවද අඩු පොළී ණය වැඩසටහන යටතේ පවුල් 13,405ක් සඳහා රුපියල් මිලියන 5,234ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව පවුල් 13,197ක් නිවාස ඉදිකරගෙන තිබෙනවා.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මාසිකව රුපියල් මිලියන 150ක්ව තිබූ යළි අයකර ගැනීමේ ප්‍රගතිය මේ වන විට රුපියල් මිලියන 310 දක්වා ඉහළ නංවාගැනීමට කටයුතු කර තිබෙනවා. මේ යටතේ තවත් නිවාස ණය වැඩි සංඛ්‍යාවක් ලබා දීමට හැකියාව හිමි වූ අතර 12%ක මාසික පොලියක් යටතේ ණය ලබා දීමට රුපියල් මිලියන දහසක් වෙන්කර තිබෙනවා. ඒ මහා භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති රුපියල් මිලියන 2,000ට අමතරව බවද කිව යුතුයි.

    2024 වසරට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය ප්‍රකාශය අනුව නිවාස සංවර්ධන අධිකාරියට අයත් මහල් නිවාසවල ජීවත්වන පවුල් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීම සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මේ වසර නිම වීමට පෙර කොළඹ මහ නගර සභාවේ පවුල් 1,070ක් සදහා හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරනවා. යාපනය ගුරු නගර් නිවාස යෝජනා ක්‍රමයේ පවුල් 160ට නිවසේ හිමිකම සින්නක්කර ඔප්පුවක් මගින් හිමිකර දීමට කටයුතු කෙරෙන අතර එහි තවත් නිවාස 742කට අදාළ හිමිකම් ඔප්පු ලබා දීමට සූදානම් කර තිබෙනවා.

    1979 වසරේ සිට මේ දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආදර්ශ ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ මැතිවරණ නිවාස 10, මැතිවරණ නිවාස 20, උදාගම්මාන, ආදර්ශ ගම්මාන යන ව්‍යාපෘතිවල නිවාස ලබා ගත් නමුත් සින්නක්කර අයිතිය ලැබී නැති බව පවුල් 32,000ට හිමිකම් ඔප්පු ලබා දීමටද අප සූදානම් කරමින් සිටිනවා .

    තවද 2015- 2019 කාල සීමාව තුළ ක්‍රියාත්මක වුණු නිවාස වැඩ සටහන් 07ක් යටතේ වැඩ අවසන් නොකළ නිවාස 44,053ක් වැඩ අවසන් කිරීම සදහා රුපියල් මිලියන 15,244ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙන අතර එම මුදල ලැබුණු වහාම ඒ නිවාස වල වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා.

    මෙතෙක් පැවති ඕනෑම ආණ්ඩුවක් හෝ අමාත්‍යවරයකු විසින් ආරම්භ කර ඇති නමුත් මෙතෙක් වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති සියල්ලෙහි වැඩ කටයුතු අවසන් කර එම ප්‍රතිලාභ හිමි ජනතාවට සහනයක් සළසන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අප වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා,

    රටේ නාගරික ප්‍රදේශවල තත්ත්වය කළමනාකරණය කිරීමේ වගකීම පැවරෙන්නෙත් නාගරික සංවර්ධන අධිකාරියටයි. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා අතරමඟ නතර කෙරුණු ව්‍යාපෘති 22ක වැඩ මේ වන විට නැවත අප විසින් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘති 22 සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 1,900ක මුදලක් වෙන් කර තිබෙනවා.

    එසේම සැලසුම් හා ආයෝජන අනුමත කිරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් සේවා ඒකකයක් (ONE STOP UNIT) ආරම්භ කර තිබෙනවා. වසර 2025 වන විට ලංකාවේ සියලුම නාගරික සංවර්ධන බල ප්‍රදේශවල මෙම Online ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා.

    මීට අමතරව නාගරික සංවර්ධන බලප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ 276ක් සඳහා ආර්ථික, සාමාජීය, පාරිසරික හා සෞඛ්‍ය වශයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සැකසීම සිදු වෙනවා. ඉන් පළාත් පාලන ආයතන 87ක් සඳහා සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කර අවසන් අතර මේ වසර තුළ සංවර්ධන සැලසුම් 26ක් ගැසට් කිරීමටද නියමිතයි. ඉදිරි වසරවල සංවර්ධන සැලසුම් 22 බැගින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම අපේක්ෂා කරනවා.

    තවද නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස යෝජනා ක්‍රම 22ක නිවාස ඒකක 13,814ක් ඉදිකර අවසන් අතර එහි පවුල් 11,967ක් නැවත පදිංචි කර තිබෙනවා. මේ යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අක්කර 116ක භූමි ප්‍රදේශයක් නැවත සංවර්ධනය කිරීමටද හැකියාව ලැබුණා.

    එසේම කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් අතරමග නතර වූ නිවාස ව්‍යාපෘති 06ක් යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹගේ මාවත, ඇපල් වත්ත, ස්ටේඩියම් ගම, මාදම්පිටිය පාර, ෆර්ගියුෂන් පාර හා ඔබේසේකරපුර යන ප්‍රදේශවල නිවාස ඒකක 4,074ක් ඉදි කෙරෙමින් තිබෙනවා.

    තවද අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා යුවාන් මිලියන 552ක චීන ආධාර යටතේ නිවාස ඒකක 1696ක් ඉදිකිරීම මේ වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

    මෙම අධිකාරිය මඟින් රටට ආයෝජන ගෙන ඒමේ විශේෂ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා. මෙහි විශේෂ ව්‍යාපෘතියක් ලෙස තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට යාපනයේ ජනාධිපති මන්දිරය පිහිටි ඉඩම ලබා දීමට කටයුතු කර තිබෙනවා. එසේම කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත විනෝදාත්මක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධය කිරීම සඳහාද ආයෝජකයන් කැඳවා තිබෙනවා.

    ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. එච් රුවිනීස් මහතා,

    ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා නිමකරන ලද ව්‍යාපෘති සඳහා අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. එසේම මේ වන විට නවතා දමා ඇති හඳුනාගත් විශේෂ ව්‍යාපෘති කිහිපයකටම එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහාද මුදල් ගෙවීම ආරම්භ කර තිබෙනවා.

    තවද ප්‍රමාද ගාස්තු අය කිරීමකින් තොරව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති අතර ජාතික ඉදිකිරීම් සංගමයේ ඉල්ලීම පරිදි 2020 ට පෙර ලියාපදිංචිය ලබා ගැනීමට නොහැකි වූ අයටද නැවත ලියාපදිංචිය ලබා ගැනීමට කටයුතු සලසමින් අවුරුදු 03 ක කාල සීමාවකට කුඩා හා මධ්‍යම කොන්ත්‍රාත්කරුවන්ගේ( C4 – C9 ) ප්‍රමාද ගාස්තු නිදහස් කර තිබෙනවා.

    ඉදිකිරීම් ශිල්පීන් 7,000 කට පමණ NVQ සුදුසුකම් ලබාදීම, ඉදිකිරීම් ශිල්පී හැඳුණුම්පත ලබා දීම ආදී සාධනීය පියවර රැසක්ද අප විසින් ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා,

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහා අයවැය යටතේ රුපියල් මිලියන 2,190ක ප්‍රතිපාදන ලැබී තිබෙනවා. ඒ අතරින් මිලියන 843.91ක මුදලක් මේ වනවිට වැය කර තිබෙනවා. ඒ යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 4කට අයත් වාර්ෂික ව්‍යාපෘති 31ක් ක්‍රියාත්මක යි.

    ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීමේ වැඩසටන යටතේ කොළඹ අගනගර කලාපයේ සහ ඒ අවට පවතින ප්‍රධාන ඇළ මාර්ග වල කිලෝමීටර 44ක්, ද්විතියික ඇල මාර්ගවල කිලෝමීටර 52ක් සහ හැමිල්ටන් ඇලෙහි කිලෝමීටර් 22 දිග ප්‍රමාණයක් නඩත්තු කිරීම , ගංවතුර පාලනය ව්‍යාපෘතිය යටතේ මාදිවෙල දකුණු හැරවුම් ව්‍යාපෘතිය, කළු පාලම් යෝජිත Gate Mounted Pump ස්ථාපනය කිරීම වැනි ව්‍යාපෘති 9ක් ක්‍රියාත්මක කෙරෙනවා.

    තවද තෙත්බිම් සහ පහත්බිම් සංවර්ධනය, නිර්මාණ කටයුතු, සිතියම්කරණය සහ ශක්‍යතා අධ්‍යනය යන ක්ෂේත්‍ර දෙක යටතේ ව්‍යාපෘති 9ක් ක්‍රියාත්මක යි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya