ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    හෝමාගම මැතිවරණ කොට්ඨාශ මාර්ග කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රවාහන ඇමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ

    ජූලි 07, 2024
    දිවයින පුරා  මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ හෝමාගම මැතිවරණ කොට්ඨාශ මාර්ග කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
    පන්නිපිටිය හිරිපිටිය  වික්‍රමගේ මාවත, පිටිපන උතුර මහින්ද මාවත සිට යක්‌දෙස්ස පාලම දක්වා  මාර්ගය, මීගොඩ -කජුගහදෙනිය නාගහවත්ත මාර්ගය සහ පෝර කනත්ත දෙවන පාර මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කිරීමට නියමිතයි.
     දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් මෙම සියලුම මාර්ග ඉතාමත් අබලන් තත්ත්වයකට පත්ව තිබේ. ප්‍රදේශවාසීන් විසින් දිගින් දිගටම විවිධ පාර්ශවයන්ගෙන් සිදුකරන ලද ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ගමනාගමනයේදී විවිධ දුෂ්කරතාවයන් රැසකට මුහුණ දීමට ජනතාවට සිදුව තිබේ.
     මාර්ග කිලෝමීටර් 1500ක් සංවර්ධනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘති ඉතාමත් කෙටි කාලයක් තුළ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත.
     මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    "දීර්ඝ කාලයක් තිස්සේ ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය සහ මුදල් යන විෂයන් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මා විසින් උගන්වා තිබෙනවා. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයාට හෝ අනුර කුමාර දිසානායක ඇතුළු  පාර්ලිමේන්තුවට ඉගැන්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ගෙවුණු දශක හතරක පහක කාලය තුළ දේශපාලනඥයින් ගමින් ගමට ගොස් විශාල බොරු ප්‍රමාණයක් ප්‍රකාශ කොට තිබෙනවා. බලය ලබා ගැනීමෙන් අනතුරුව සෑම රජයක්ම මුහුණ දුන් ප්‍රධානම ගැටළු වූයේ රාජ්‍ය වියදමට ප්‍රමාණවත් බදු ආදායමක් උපයා ගැනීමට නොහැකි වීමයි. ඒ හේතුව මත දේශීය හා විදේශීය  විවිධ අංශවලින් ණය ලබා ගැනීමට සිදුවනවා.  රට තුළ ඇතිවන  අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟය පියවා ගැනීම සඳහා දිගින් දිගටම මේ ආකාරයෙන් ණය ලබා ගැනීම තුළින් සිදුවන ප්‍රතිවිපාක ජනතාවට නොතේරීම හේතුවෙන් වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ වර්ජන ඇතුළු ක්‍රියාමාර්ගවලට එළඹෙනවා. එවැනි තත්ත්වයන් උද්ගතවීමේදී පැවති රජය මුදල් මුද්‍රණය කර වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ලබාදීම සිදුකර තිබෙනවා. අසීමිතව මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් උසුලාගත නොහැකි මට්ටමකට  ජීවන වියදම ඉතාමත් ඉහළ අගයකට පත්වුණා. ලබාගත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට පත් වුණා.අවසානයේ මේ තත්ත්වය මත තවදුරටත් ශ්‍රී ලංකාවට ඉදිරියට යන්න නොහැකි බව ලෝකයේ රටවල් පෙන්වා දුන්නා. ණය තිරසර භාවයක් නොමැති තත්ත්වයකට පත්වුණා. ඇෆ්ගනිස්තානය,සිම්බාබ්වේ,ඝානාව,බොහෝ අප්‍රිකානු රටවල්, මීට පෙර මෙවැනි අර්බුදයන්ට මුහුණ දී තිබුණා. රටක් වශයෙන් එවැනි අර්බුදයක් විසඳාගැනීමට නොහැකි අවස්ථාවල එවැනි අර්බුදයන්ට විසඳුම් සපයා දුන් ජාත්‍යන්තර ආයතනවල සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ද සිදුවුණා. කැබිනට් අනුකාරක සභාවක නිර්දේශයන්ට අනුව ක්ලිපර්ඩ් හාන්ස් සමාගම සහ ලසාඩ් සමාගම තෝරාගතේ ඒ අනුවයි. මුහුණ දුන් තත්ත්වයෙන් රට ගලවා ගැනීම සඳහා ලබාදුන් සහාය වෙනුවෙන් පසුගියදා ජනාධිපතිතුමා එම සමාගම් වෙත විශේෂ ස්තුතියක්ද පළ කර සිටියා.
     විශාල අභියෝග රාශියක් මාධ්‍යයේ කිසිවෙකුත් රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක රට භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය ගිවිසුම ඇති කරගනිමින් සිදු කළ ක්‍රියාදාමය හේතුවෙන් මේ වන විට යළිත් හුස්ම ගත හැකි රටක් බිහිවී තිබෙනවා. තවමත් අප ගමන් කරන්නේ ණය ගෙවීමකින් තොරවයි. 2028 දක්වා ණය ගෙවීමක් සිදුවන්නේ නැහැ. ණය ගෙවිය යුතු රටවලට ණය නැවත ගෙවන බවට පොරොන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජපානය ඉන්දියාව සහ ප්‍රංශය නිල ණය බේරුම් කරුවන් වශයෙන් කමිටුවක් ලෙස කටයුතු කරමින් 2042 දක්වා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. රජය විසින් අත්සන් තබා ඇති ගිවිසුම එළඹෙන නව වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.එම එකඟතාවයන් දශමයකින් හෝ වෙනස් කළහොත් හෝ සංශෝධනය කළහොත් ලෝකය අපේ රට අත්හැර දමනවා.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග  ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ නැවතත් අතරමග නවතා තිබූ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදාවනවා."
    මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සහස්යා ඉන්වෙස්ට්මෙන්ට් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති භාර ඉන්ජිනේරුවන් ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya