ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 13, 2024

    අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ LTL සමූහ ව්‍යාපාරය විසින් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.

    ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රය මෙන්ම අටමස්ථානයම සුර්ය බලයෙන් බල ගැන්වීමට රජයේ සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    අද පෙරවරුවේ අනුරාධපුර පුදබිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

    අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා සූර්යබල විදුලි පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

    මේ අතර අනුරාධපුර පුද බිම වෙත පැමිණ සිටි ජනතාව අතරට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

    කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් LTL හෝල්ඩින්ග්ස් සමාගම දියත්කර ඇති ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන සැලැස්මේ ප්‍රථම අදියර ලෙස කිලෝ වොට් 150 ක සූර්‍ය බල පද්ධතිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කර ඇත.

    ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවය මෙම සූර්‍ය බල පද්ධතිය මඟින් සපයනු ලබයි. මේ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා එම පරිශ්‍රය ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන කලාපයක් බවට පත්ව තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    සූර්ය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්තිය ලංකාවට හඳුන්වාදීමට සුදානම් වන අවස්ථාවේ එම වගකීම භාරගැනීම පිළිබඳ LTL හෝල්ඩින්ග්ස් සමාගමට ස්තූතිවන්ත වෙනවා. LTL සමාගම අද ලෝක ප්‍රකට සමාගමක් බවට පත්වූවද එහි ආරම්භය ලංකාවේ සිදුවූ බව ඔවුන් අමතක කර නැහැ.

    ඒ වගේම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රයේ සහ අටමස්ථානයේ එම වැඩකටයුතු කරගෙන යාමට ආණ්ඩුවේ සහාය ලබා දී තිබෙනවා. ඉදිරියේදී ද එම සහාය ලබාදීමට කටයුතු කරනවා. අනුරාධපුර නගරයේ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරන විට වසර දහසකට වඩා පැරණි ඉතිහාසයක් එහි තිබෙනවා. ඒ වගේම අනුරාධපුරය පැරණි වෙළඳ සහ ආර්ථික නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මෙවැනි වටිනා පැරණි නගරයක සිදු කළයුතු පුරාවිද්‍යා කටයුතු ගණනාවක් තිබෙනවා.

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිතිවරයාගේ කාලයේදී යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කළා. පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, අනුරාධපුර වැනි අපේ නගරවලට එමඟින් මහත් ප්‍රසිද්ධියක් ලැබුණා. එම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු අප තවම අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර නැහැ. අප දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ කළ යුතුව තිබෙනවා.

    දැනට කාම්බෝජියාවේ ඇංකර්තෝම් නගරයේ යුනෙස්කෝ සංවිධානය ප්‍රංශය ඇතුළු රටවල ආධාර ඇතිව විශාල වැඩකොටසක් සිදු කරගෙන යනවා. වසර 30-40ක සිට එම කටයුතු සිදු කෙරෙනවා. ඒ වගේම යුනෙස්කෝව විසින් ප්‍රංශ ආධාර ඇතිව ලාඕසයේ ලුවන් ප්‍රභන් නගරයත් ඒ වගේම සකස් කර තිබෙනවා. චීන ආණ්ඩුව ද ස්ථාන කිහිපයකම තමන්ගේම මූල්‍ය ශක්තියෙන් පුරාවිද්‍යා වැඩකටයුතු කරගෙන යනවා.

    නමුත් අප අනුරාධපුර නගරය තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණය යන දෙකම කැඳවා මෙම වැඩකටයුතු කරගෙන යන ලෙස මම උපදෙස් දුන්නා. ඒ වගේම මහාවිහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට ඩර්හැම් විශ්වවිද්‍යාල සමඟ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. නායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් කරගෙන යාමට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු සඳහා ආචාර්ය ප්‍රශන්ත ගුණවර්ධන මැතිතුමා සම්බන්ධ කර තිබෙනවා.

    මහා විහාරය කියන්නේ අනුරාධපුර ඓතිහාසිකත්වයේ කොටසක් පමණයි. ඒ නිසා මෙම අනුරාධපුර නගරයේ කටයුතු ගැන සාකච්ඡා කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමියට ලංකාවට පැමිණීමට මම ආරාධනා කර තිබෙනවා. දීර්ඝකාලීනව මෙම අනුරාධපුර නගරයේ පුරාවිද්‍යා කටයුතු කරගෙන යාමට මම එහිදී එතුමියට යෝජනා කරනවා. මෙම කටයුතු සඳහා අපට සහාය ලබාදීමට වෙනත් රටවල විශ්විවිද්‍යාල ගණනාවක් කැමැත්ත පළ කර තිබෙනවා. මේ සියලුදෙනා එක් කරගෙන ඉදිරියට යාමට අප තීරණය කර තිබෙනවා.

    මෙම කටයුතු සමඟ අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. අද සීගිරියට එම ප්‍රසිද්ධිය ලැබී තිබෙනවා. අතීතයේ ප්‍රධාන වෙළෙඳ, ආර්ථික මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයේ ප්‍රසිද්ධිය ගැන අප තවම කථා කර නැහැ. අප තන්ජෝර් ගැන කථා කරනවා, මදුරායි, සාංචිපුරම් ගැන කථා කරනවා නමුත් ඒ සමඟ තිබු හතරවන නගරය වන අනුරාධපුරය අමතක කර තිබෙනවා. ඒ අනිසා අනුරාධපුර නගරයේ දියුණුව වෙනුවෙන් එම වැඩකටයුතු කළ යුතුයි. එම කටයුතු අතරතුර අනුරාධපුර නගරයේ නව හෝටල් ඇති කිරීම වෙනුවෙන් අප අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ සමඟ මෙම නගරය විශාල දියුණුවකට ලක්වනු ඇතියි.

    සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ,

    මෙම අවස්ථාවට සම්බන්ධ වූ ජනාධිපතිතුමාට මහා විහාර පාර්ශවයේ ආශිර්වාදය ලැබෙන බව සඳහන් කළ යුතුයි. ඔබතුමා මේ සහභාගී වී සිටින්නේ දිනෙන් දින පිං පිරෙන පින්කමකටයි . මීට වසර දෙකකට පෙර විදුලිය සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් පැවතුණා. එය සමනය කිරීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි වී තිබෙනවා. ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධව ගැටලු පැන නැගුණු අවස්ථාවන් කිහිපයක් තිබුණා. ඊට පිළියමක් වශයෙන් ආගමික ස්ථානවලට පුනර්ජනනීය බල ශක්තියෙන් විදුලිය ලබාදීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අද සාර්ථක වී තිබෙනවා.

    අද මේ ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රය සූර්ය බල ශක්තියෙන් ආලෝකමත් වෙනවා. ධර්මයේ හැටියට මෙය නුවණ ලැබෙන මහඟු පින්කමක්. එම නිසා ඔබගේ සිතෙහි සියලු බලාපොරොත්තු ඉටු වේවායි මහා සංඝරත්නය හැටියට අපි ප්‍රාර්ථනා කරනවා.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

    ආර්ථික අර්බුදයන් රට මුදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ අද ශක්තිමත් වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් කිහිපයක් කිරීමට සිදුවුණා. පුනර්ජනනීය බල ශක්තියට වැඩි අවස්ථාවක් ලබා දෙමින් රට තුළ පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ වගේම නෙට් මීටරින් ක්‍රමය හඳුන්වා දෙමින් පාරිභෝජනය කරන විදුලි ඒකකයට පමණක් ගෙවීමේ වැඩපිළිවෙළ හඳුන්වා දීමටත් කටයුතු කළා. ආගමික සිද්ධස්ථාන සඳහා පුනර්ජනනීය බල ශක්තිය මඟින් විදුලිය ලබාදීම වේගවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සූර්ය පැනල ස්ථාපිත කර පූජා කරනවා.ආගමික ස්ථාන සුරැකීමට රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද සඳහන් කළයුතුයි.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා,

    මීට වසර විසි දෙකකට පෙර LTL ව්‍යාපාරය විසින්ම රුවන්වැලි මහා සෑය පරිශ්‍රයේ විදුලි ආලෝක කරණයක් සිදුකළා. එවකට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ඊට සහභාගි වුණා. LTL සමාගම මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇතිකළ සමාගමක්. ශ්‍රී ලංකාවෙන් සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර ජාත්‍යන්තරය දිනා ගැනීම සඳහා ඔවුන්ට හැකි වුණේ ඔවුන්ගේ තිබෙන කැපවීම නිසයි. 2002 වසරේදී අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේදී විදුලිය කප්පාදුව දිනකට පැය 18 ක් පමණ සිදුවුණා.

    2022 වසරේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාරගන්න අවස්ථාවේදී විදුලි කප්පාදුව පැය 13 කට ආසන්න ප්‍රමාණයක් සිදු වෙමින් තිබුණා. මෙම අවස්ථාවන් දෙකම කළමනාකරණය කර ගනිමින් රට යහපත් අතට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතාට මාස හයක් වත් ගත වුණේ නැහැ. ඒ වගේම විදුලි පාරිභෝගික ජනතාවට පාරිභෝජනය කරන විදුලිය ඒකකවලට පමණක් ගෙවීමට හැකි නෙට් මීටරින් ක්‍රමය දැනටමත් ලංකාව තුළ හඳුන්වා දී තිබෙනවා. පුනර්ජනනය බල ශක්තිය ව්‍යාප්ත කිරීමටත් ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන දහයක ත්‍යාගයක් ලැබී තිබෙනවා. ඒ වගේම තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් අරගෙන පුනර්ජනනීය බල ශක්තිය ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා.

    LTL ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී නුහුමාන් මරික්කාර් මහතා,

    ආගමික සිද්ධස්ථානවල සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ කරනවා. ආගමික ස්ථාන ආලෝකමත් කිරීමත් සමග මෙගාවොට් 150ක පුනර්ජනනීය බල ශක්ති බලාගාරයක් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකිරීමටත් සැලසුම් කරමින් තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය ප්‍රචලිත කරමින් ජනතාවගේ බලශක්තිය අවශ්‍යතාවය සපුරාලීමට LTL සමාගම කැපවීමෙන් බැඳී සිටිනවා.

    පළාතේ මහා සංඝරත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන , දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය පී.හැරිසන් , හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya