ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    උරුමයෙන් සින්නක්කර බලයක් සහිත නිරවුල් ඔප්පුවක්

    ජූලි 17, 2024

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කරන ලද සංඝණනයට අනුව පවුල් ලක්ෂ 20කට කොන්දේසි සහිතව රජයෙන් බලපත්‍ර සහ දීමනා පත්‍ර ලබා දී තිබෙන බව ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    එම පවුල් වෙත  වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අයවැය සඳහා අංක 08 යටතේ ඉදිරිපත් කළ යෝජනාවට අනුව උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් සින්නක්කර බලයක් සහිත නිරවුල් ඔප්පුවක උරුමයක් හිමිවන බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

    මෙම දීමනා පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පවත්නා නීති රාමුව තුළ නියමිත පරිදි සකස් කර ලබා දීමට කටයුතු කරන බවත්, මේ වන විට දිස්ත්‍රික්ක ගණනාවක මෙම ඔප්පු ලබා දීම සිදු කෙරෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කරන ලද සංඝණනයට අනුව පවුල් ලක්ෂ 20 කට කොන්දේසි සහිතව බලපත්‍ර සහ දීමනා පත්‍ර ලබා දී තිබෙන බවත් එම ලක්‍ෂ 20 සඳහා උරුමය දීමනා පත්‍රය ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.

    එමෙන්ම එම කොන්දේසි ඉවත් ක‍ර ගැනීමට අයිතිකරු විසින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත් එම කොන්දේසී ඉවත් ක‍ර නව දීමනා පත්‍රයක් සකස් කර ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව මාසයක කාලයක් තුළ දී නැවත ප්‍රදානය කිරීම මෙහි දී සිදු වෙන බව හෙතෙම මෙහි දී පැවසුවේය

    සින්නක්කර ඉඩමක තිබෙන කොන්දේසි ප්‍රමාණයවත් මෙම දීමනා පත්‍රයට අඩංගු නොවන අතර එහි සඳහන් එකම කොන්දේසිය වන්නේ ඉඩමට ප්‍රවේශය සඳහා මාර්ගයක් තිබිය යුතු වීම පමණක් බවත්, සින්නකර නීතිය අනුව ඉදිරි කටයුතු සිදු කෙරෙන බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.

    ඒ අනුව, 1897 මෙරට ජනතාවගේ අයිතිය සුදු අධිරාජ්‍යවාදීන් විසින් උදුරාගැනීමෙන් රජයට ලබාගත් ඉඩම්වල උරුමය නැවත ජනතාවට ලබා දීම මෙම උරුමය වැඩසටහන මඟින් සිදු කෙරේ.

    දිවංගත ඩි.එස් සේනානායක අග්‍රාමාත්‍යවරයා ගේ සමයේ ගොඩින් අක්කර 03ක් සහ මඩින් අක්කර 05ක් වශයෙන් එක් පවුලකට අක්කර 08ක් වශයෙන් ලබා මෙම ඉඩම් ගොවි ජනතාවට, ග්‍රාමීය ජනතාවට නොමිලේ ලබා දීමට කටයුතු කළ ද, එම ඉඩම් සම්බන්ධව ඕනෑම කාර්යයක් සිදු කර ගැනීමේ දී ප්‍රාදේශීය ලේකම්, දිසාපති, ඉඩම් කොමසාරිස් හෝ ග්‍රාම නිලධාරී හෝ ඉඩම් නිලධාරී ලවා උපදෙස් ගෙන හෝ අවසර ගත යුතුව තිබුණි. නොඑසේනම් එහි තිබු කොන්දේසි නිසා ආර්ථික ඒකකයක් ලෙස එම ඉඩම් රටට ගැළපෙන ආකරයෙන් සංවර්ධනය කර ගැනීමට ජනතාවට හැකියාවක් නොමැති අවස්ථාවක එම කොන්දේසි ඉවත් කර ගැනීම සඳහාත් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය.

    එවන් තාඩන පීඩන වලට මහජනතාව ලක්වීම වැළක්වීමේ අරමුණින් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාවට සින්නක්කර අයිතිය ලබා දීම මඟීන් ජනතාවගේ අභිලාෂයන් ඉටු කර ගැනීමට එමඟින් හැකිවන ආකාරයෙන් ඉඩම ප්‍රයෝජනයට ගත හැකි වීම සහ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා නිලධාරීන් හමුවට යාමට අවශ්‍ය නොවන බවත්, මෙමඟින් ස්වාධීනව ඔවුන්ගේ ඉඩම සංවර්ධනය කරගනිමින් රටේ ආර්ථිකයට ද විශාල දායකත්වයක් සැපයීමට ද හැකි වීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ පරමාර්ථය වන බව හෙතෙම සඳහන් කළේය.

    2023 අංක 01 දරණ චක්‍රලේඛයට අනුව 1969 අංක 16 දරණ පනතින් හා 1981 අංක 27 දරණ පනතින් හා  2022 අංක 11 දරණ පනතින් සංශෝධිත 1935 අංක 19 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවිජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමේ පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භුමිය මානව අවශ්‍යතා සහ සංවර්ධන අවශ්‍යතාවයන්ට යොදවා ගැනීමේ දී එම භුමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේ දී ත් විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදු වන හෙයින් එම ගැටලු අවම කර ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාව අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත සංවර්ධනය ක‍ර භුක්ති විඳින ඉඩම් වල පරම අයිතිය ලබා දීම පවතින නීති රාමුව තුළ ඉටු කිරීම අරමුණු කර ගනිමින් එම ඉඩම් වල පරම අයිතිය ජනතාවට ප්‍රදානය කිරීම උරුමය වැඩසටහනේ අරමුණ වේ.

    ඒ අනුව සින්නක්කර ඉඩම් ලබා දෙන්නේ 1947 රජයේ ඉඩම් ආඥා පනතේ අංක 02 යටතේ ජනාධිපතිවරයාට තිබෙන විශේෂ බලය අනුව නිදහස් දීමනා පත්‍රය බෙදා දීමට කටයුතු කරන බව ඉඩම් කොමාසරිස්වරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ සම්බන්ධව මහජනතාවට ගැටලුවක් ඇත්නම් 0112 883812, 0112 883635, 0112 797400, 0112 865824 දුරකතන අංක ඇමතීම 0112 864051 ෆැක්ස් අංකය වෙත යොමු කළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya