ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ඵෙතිහාසික සෝමාවතී පුදබිමේ “නව පර්යන්ත රෝහලක්” ඉදිකිරීමට පියවර

    ජූලි 20, 2024

    ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “නව පර්යන්ත රෝහලක්” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ (19) සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රධානත්වයෙන් මෙන්ම අනුශාසකත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්  සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

    සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් නව රෝහලක් ඉදිකර දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරනු ලැබූ ඉල්ලීමට අනූව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හට ලබා දුන්  උපදෙස් මත මෙම විශේෂ සාකච්ඡාව සිදුවිය.

    දෛනිකව සෝමාවතී පුද බිම  වන්දනා කිරීමට 1000 ආසන්න බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන බවත්, පොහෝ දිනයන් හිදී එම ප්‍රමාණය 50000 ඉක්මවන බවත්, පොසොන්, ඇසල පොහෝ දිනයන්හිදී ලක්ෂයකට අධික බැතිමතුන් සෝමාවතිය වන්දනාමාන කිරීමට පැමිණෙන බවත්, එහිදී හදිසි රෝගී තත්ත්වයන්ට පත්වන බැතිමතුන්ට ප්‍රතිකාර කිරීම  සදහා පොළොන්නරුව මහ රෝහලට ‍ගෙන යායුතු බවත්, නව රෝහල ඉදිකිරීමෙන් බැතිමතුන්ට විශාළ සේවාවක්, සහනයක් සිදුවන බව  සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු  පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

     පොළොන්නරුව මහ රෝහල වෙත රෝගී වන බැතිමතුන් ප්‍රවාහනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත පොලොන්නරුව මහ රෝහ‍ලෙන් ගිළන්රථ දෙකක් මේවන විට විහාරස්ථාන භූමියේ සිට සේවාවන් සිදුකරන බවද, සුංගාවිල, කටුවන්වල, ගල්කන්ද, කන්දකාඩු යන අවට ගම්මාන වල වෙසෙන ජනතාවටත් මෙම නව රෝහල ඉදි කිරීමෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතින බවද විහාරාධිපති හිමියන් වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙන ලදී.

    මෙම නව රෝහල බාහිර රෝගී අංශයකින්, හදිසි ප්‍රතිකාර ඒකකයකින්, කාන්තා සහ පිරිමි වාට්ටු දෙකකකින් මෙන්ම වෛද්‍යවරුන් පුමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩළයට නේවාසික පහසුකම් සහිතව ඉදිකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  මෙහිදී කියා සිටියේය.

    මෙම නව රෝහල පොළොන්නරුව මහ රෝහලට අනුබද්ධිත පර්යන්ත රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බවත්, වෛද්‍යවරුන්, හෙදියන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්යමණ්ඩලය පොලොන්නරුවමහ රෝහලෙන් අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවත්, විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන මෙම නව රෝහල ඉදිකිරීමට කටයුතු කරන බවත්, ඒ සදහා මෙම වර්ෂය තුළදී රුපියල් මිළියන 100ක් වෙන් කිරීමට කටයුතු කරන බවත්, ඉදිකිරීම් කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර හෝ ලබන වර්ෂයේ මුල් මාස කිහිපය තුළ අවසන් කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා ‍පැවසුවේය.

    කඩිනමින් මීට අදාළ ඇස්මේන්තු මෙන්ම සැළසුම් (Plan Drawing) සකස් කිරීමට අදාළ නිළධාරීන්ට තමන් උපදෙස් ලබා දෙන බව පැවසූ ‍හෙතෙම මෙම  ඵෙතිහාසික පිං බිමට ගැළපෙන පරිදි ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේගේ  උපදෙස් , අනුශාසනා මත එම සැළසුම් නිර්මාණය කළ යුතු බවත්, එම සැළසුම් වලට නායක ස්වාමීන්වහන්සේගේ අනුමැතිය ලැබුණු පසු ඉදිකිරීම් ආරම්භ කරන බවද වැඩිදුරටත් මෙහිදී පැවසීය .

    මෙම විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව නව රෝහල ඉදිකිරීමට වෙන් කර ඇති භූමියද සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රමුඛ නිළධාරීන් විසින් නිරීක්ෂණය කළහ.

    මෙම විශේෂ සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය අම‍ාත්‍යාංශය නියෝජනය කරමින්  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන  විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, දිනුප්‍රිය හේරත්, යන මහත්වරුන්ද, පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිමල් ආරියරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ගුණතිළක, පරිපාලන නිළධාරීතුමා ඇතුලු නිළධරීන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya