ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    “පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය” 17 වන පරිසර නියමු ජාතික කඳවුර මහරගම දී

    අගෝස්තු 15, 2024

    මධ්‍යම පරිසර අධිකාරිය මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍ය අද (15) ආරම්භ වේ.

    මෙම නියමු ව්‍යාපෘතිය (18) වන දින දක්වා මහරගම -  ජාතික අධ්‍යාපන ආයතනයේ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් ලෙස පැවත්වීමට කටයුතු යොදා ඇත.

    පරිසර නියමුවන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් 350ක් දින 04ක් පුරා කඳවුරු බඳින මෙවර කඳවුරේ සමාරම්භක උළෙල අගෝස්තු 16  පෙරවරු 8.00 ට පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා රණසිංහ මහත්මිය, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති යූ. ඩී. සී. ජයලාල් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නීතීඥ ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා ඇතුළු නිලධාරීන්, අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කිරීමේ උදාර පරමාර්ථයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පුළුල් පරිසර ජාලය ජාතික පරිසර නියමු වැඩසටහනයි.

    1984 දී කොළඹ, මාළිගාවත්ත නව නගරය කේන්ද්‍ර කරගනිමින් සිසුන් 25 දෙනෙකුගේ කුඩා කණ්ඩායමකින් ඇරඹි මෙම වැඩසටහන අදවන විට දිවයින පුරා බොහෝ පාසල්වල ක්‍රියාත්මක වැඩසටහනක් බවට පත්ව ඇත. “පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය” තේමාව පෙරදැරිකර ගනිමින් ජාතික පරිසර නියමු වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය පාරිසරික උරුමය සුරැකීමට පියනගන පරිසර නියමුවකු පරිසර ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වෙමින් පදක්කම් 05ක් ලබාගැනීම දක්වා ක්‍රියාවලියක ගමන් කළ යුතුය.

    එහි දී විශේෂ දක්ෂතා දැක් වූ පාසල් 75ක ස්වර්ණ පදක්කම් ලාභී පරිසර නියමුවන් 250 දෙනෙකු ද ඇතුළත්ව 350ක පමණ පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පළාත් 9කට අයත් දිස්ත්‍රික්ක 18ක පරිසර නියමු සිසු දරුදැරියෝ පරිසරය සුරැකීම යන පොදු අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම සිව්දින කඳවුරේ දී කටයුතු කරති.

    පරිසර නියමු වැඩසටහනට සමාගමීව පළමු වරට පරිසර නියමු කඳවුරක් පැවැත්වූයේ 1998 වර්ෂයේ දී රන්දෙණිගල වනජීවී පුහුණු මධ්‍යස්ථානයේදීය. එලෙස ආරම්භ කළ පරිසර නියමු කඳවුරු පැවත්වීමෙන් පසු වාර්ෂිකව කඳවුරු පැවැත්වූ අතර මෙවර පවත්වනේ 17වන පරිසර නියමු කඳවුරයි. 

    සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන සමාරම්භක උළෙල, පරිසර නියමුවන් 250දෙනෙකුට ස්වර්ණ පදක්කම් ප්‍රදානය කිරීම, පරිසර හිතකාමී නව නිර්මාණ ප්‍රදර්ශනය, පරිසර තේමා රැගත් විවිධ තරග, පරිසර නියමුවන්ගේ සංස්කෘතික උළෙල ආදී විශේෂාංග සහ ක්‍ෂේත්‍ර පරිසර චාරිකා ඇතුළු පාරිසරික ක්‍රියාකාරකම් රැසක් පරිසර නියමු දරුවන් වෙනුවෙන් මෙවර පරිසර නියමු ජාතික කඳවුරේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    පරිසර නියමුවන් පාසලේ දී පරිසරය පිළිබඳ ලබන න්‍යායික දැනුම දින 04ක් පුරා ප්‍රායෝගිකව අත්වීඳීමේ අවස්ථාව ලැබෙන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය මෙම වැඩසටහන සංවිධාන කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya