ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඇසළ පෙරහැර අද ලෝකයේම ආකර්ශනය දිනාගත් සංස්කෘතික මංගල්‍යයක් වෙලා

    අගෝස්තු 19, 2024

    දළදා මාලිගාවෙහි පවත්වන සතර මහා මංගල්‍යයන් අතරින් උච්චතම සහ ආකර්ශනීයම මංගල්‍යය වන සෙංකඩගල නුවර ඇසළ පෙරහැර අද වන විට ලෝකයේම ආකර්ශනය දිනාගත් සංස්කෘතික මංගල්‍යයක් බවට පරිවර්තනය වී ඇතැයි දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

    දියවඩන නිළමේවරයා මේ බව පැවසුවේ අද (19) මාධ්‍යයට අදහස් දක්වමිනි.
    සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් ස්පර්ශය ලැබුවා වූ වාම ශ්‍රී දන්ස්ථා ධාතූන් වහන්සේට සිදුකරන බුද්ධෝපහාරයක් වශයෙන් මෙම ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන බවද, සිවුමහා දෙවිවරුන්ට කරන දේවෝපහාරයක් ලෙසද නිසි කලට වැසි ලැබී රටෙහි සශ්‍රීකත්වය ලැබීම අරමුණු කරගනිමින්ද මෙම පෙරහැර පවත්වන බව අවධාරණය කළේය.
    එදා රාජ්‍ය සමයේ පටන් රාජ රාජ්‍ය මහාමාත්‍යාදීන්ගේ දායකත්වය අනූව මෙම පෙරහැර මංගල්‍යය පැවැත්වීමට රාජ්‍ය නියෝගයක් ලෙස රජුන් අනුගමනය කළ ක්‍රියාමාර්ගයක් වශයෙන් අද එහි භාරකාරීත්වය උසුලනු ලබන මල්වතු අස්ගිරි පාර්ශව වල අතිපූජ්‍ය මහානාහිමිපානන් වහන්සේලා දෙනමටත් එහි ගිහි භාරකාරීත්වය දියවඩන නිළමේවරයා වශයෙන් තමාටත් පැවරී ඇතැයිද සිහිපත් කළේය.
    එම චිරාගත සම්ප්‍රදායන් අඛණ්ඩව පැවැත්වීමේ ගිහි භාරකාරයා වශයෙන් සුවිශේෂී කාර්යයභාරයක් තමාට පැවරී ඇතැයිද අතිපූජ්‍ය මහානායක හිමිපානන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා පරිදි වාර්ෂිකව පැවත එන සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කිරීමට කටයුතු කරන බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    වර්තමානයේ රාජ්‍ය අනුග්‍රහය සහ මැදිහත්වීම මත කාලීන වශයෙන් මෙම පෙරහැර මංගල්‍යය සිවුමහා දේවාල ප්‍රමුඛව පැවැත්වීමට නිළමේතුමන්ලාගේ සහභාගීත්වයෙන් කටයුතු සංවිධානය කිරීම තමා ඇතුළු පිරිසට පැවරුණු කාර්යයභාරයක් බව සිහිපත් කළ දියවඩන නිළමේවරයා වර්තමානය එහි උච්චතම අවස්ථාව යැයි කීවොත් නිවැරදි යැයිද පැවසුවේය.
    ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පෙරහැර නරඹමින් ආශිර්වාද ලබාගනිමින් කටයුතු කරන බවද, මෙහි සුවිශේෂී කාරණා දෙස බැලීමේදී සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත වැඩමවීමත් සිවුමහා දේවාල වල දේවාභරණ වැඩමවීමත් සැලකිය හැකි බවද පෙන්වා දුන්නේය.
    ඊට අමතරව උඩරට සම්ප්‍රදානුකූල නර්තනය, ගායනය, වාදනය දක්වන කලාකරුවන් ඔවුන්ගේ කලා කුසලතාවයන් විදහාපාන වේදිකාවක් බවට අද වන විට පෙරහැර මංගල්‍යය පත්වී හමාර බවද සඳහන් කළේය.
    සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව ලෝකවාසී ජනතාවටම මෙම සංස්කෘතික මංගල්‍යය දැකීමට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉඩ සලස්වා ඇතැයිද පැවසුවේය.
    එමනිසා අද වන විට චිරාගත සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම පැවැත්වීම සහ එහි අලංකාරත්වය හා විචිත්‍රවත් බව වැඩිදියුණු වී ඇත්තේ අලි ඇතුන්ගේ සහභාගීත්වය හා මෙරට දේශීය උඩරට කලා ශිල්පීන්ගේ නර්තන හැකියාවන් මෙම පෙරහැර තුළට එක්වීම සමග බවද පෙන්වා දුන්නේය.
    මෙලෙස විචිත්‍රවත් ලෙස මෙම සංස්කෘතික මංගල්‍යය පැවැත්වීමේදී බෞද්ධ නොවන පිරිසත් එය අගය කරන බවද එය අද ලෝකයම දිනාගත් ආසියාවේ විශාලතම මංගල්‍යය බවට පත්වී ඇතැයිද අවධාරණය කළේය.
    එනම් අද ලෝකයම දිනාගත් ආසියාවේ ඇති විශාලතම මංගල්‍යය මෙන්ම වැඩිම අලි ඇතුන් සහභාගී වන ලෝකයේ එකම කලා මංගල්‍යය බවටද පරිවර්තනය වී හමාර බවද පැවසුවේය.
    මෙලෙස සෙංකඩගලපුර ඇසළ පෙරහැරෙහි ඓතිහාසිකත්වයත් ආගමික මෙහෙයත් පැහැදිලි කළ දියවඩන නිළමේවරයා අද (19) රාත්‍රියෙහි වීදි සංචාරය කිරීමට නියමිත අවසන් රන්දෝළි පෙරහැර ජනතාවට මාධ්‍ය මගින් සජීවීව දැකබලා ගැනීමේ අවස්ථාව සලසා ඇතැයිද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya