ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ගංගා කිහිපයක ගංවතුර අවදානමක්

    ඔක්තෝබර් 11, 2024

    අත්තනගලු ඔය, කැලණි ගඟ, කලු ගඟ සහ ගිං ගඟ යන ගංගාවන් වල ඉහල ධාරා ප්‍රදේශ හා මධ්‍යම ධාරා ප්‍රදේශ වලට අද සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ඇති වුවහොත් මෙම ගංගා සියල්ල ඉතා පහසුවෙන් ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවධානම අධික බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුධීෂ්වර මහතා පවසයි.

    අද (11) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.
    අද උදෑසන 08.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ ගම්පහ, කොළඹ, කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශ වලට මිලි මීටර් 200කට අධික මට්ටමේ වර්ෂාපතනයක් ඇතිවී ඇතැයිද ඇතැම් ප්‍රදේශ වල වර්ෂාපතනය මේ මොහොත දක්වාත් පවතින බව වාර්තා වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
    මෙම තත්ත්වය නිසා මෙම දිස්ත්‍රික්ක හරහා ගලා බසින ඉහත සඳහන් කළ ගංගා වල මධ්‍යම ධාරා ප්‍රදේශ සහ ඉන් පහළ ප්‍රදේශ වලදී ජල මට්ටම ඉහළ ගොස් ඇතැයිද සදහන් කළේය. මෙම ගංගා වල පහත් බිම් ප්‍රදේශ මේ වන විටත් ජලයෙන් පිරී පවතින බවද එමනිසා මෙම ගංගා වල පහත් බිම් ප්‍රදේශ වල පදිංචි ජනතාවත් එම පහත් බිම් ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිතා කරන ජනතාවත් ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.
    රථවාහන රියදුරන් ජලයෙන් යටවී ඇති මාර්ග හරහා ගමන් කිරීම ඉතා අනතුරුදායක බව පැවසූ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුධීෂ්වර මහතා මහජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.
    අත්තනගලු ඔය ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ඉතා ඉහළ බැවින් අත්තනගලු ඔය ද්‍රෝණිය සදහා මේ වන විටත් නිවේදනයක් නිකුත් කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලට විශාල මට්ටමේ වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව ඉහළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයිද පැවසුවේය.
    ඉදිරි පැය 24 තුළත් ඉන් පසුවත් මෙම ප්‍රදේශ වල හදිසියේ ඇතිවන විශේෂ වර්ෂාපතන තත්ත්වයකදී නාගරික ගංවතුර සහ ප්‍රාදේශීය ගංවතුර ඇතිවීමේ තත්ත්වය ඉහළ බැවින් එවැනි තත්ත්ව වලට මින්පෙර මුහුණදුන් ප්‍රදේශ වල පදිංචි ජනතාව නාගරික ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානයකින් පසුවිය යුතු බවද අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya