සෑම වසරකම දෙසැම්බර් මස පළමු වනදා (01) ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇත.
“අයිතීන් සුරකිමු - ඒඩ්ස් නවතමු” යන්න තේමා කර ගනිමින් මෙවර සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.
මෙම සැමරුම් උළෙලට සමගාමීව පාගමනක්, ඒඩ්ස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්, මෙන්ම පා ගමනේ ආරම්භය සංකේතවත් කරමින් ගෑස් බැලුන් උඩ යැවීමේ වැඩසටහනක්ද පැවැත්විය.
ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ආරම්භ කළ විශේෂ පාගමන ගොල්ෆේස් පිටිය, ගාලු පාර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම, නගරශාලා වටරවුම, රෝහල් චතුරස්‍රය, අක්ෂි රෝහල, පසු කරමින් ද සේරම් පෙදෙස, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන කාර්යාලය දක්වා ගමන් කෙරිණි.
මෙම පාගමන සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, පොලිස් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින්, බන්ධනාගාර නිලධාරින්, ඇතුලු ඒඩ්ස් රෝගය මර්ධනය සම්බන්ධ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
ඒඩ්ස් රෝගය හඳුනාගත් මුල් කාලයේ පැවති ආකල්පවලට වඩා වර්තමානය වන විට මෙම රෝගය හා රෝගයට ගොදුරු වූ පාර්ශවයන් සම්බන්ධ සමාජමය ආකල්පවල විශාල පරිවර්තනයක් දැකිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
එය ඉතාමත් සාධනීය තත්වයක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය එදා එච්අයිවී ඒඩ්ස් වෛරසය ආසාදිත වීම පිළිබඳව සමාජය භීතියට හා ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ආසාදිතයින් ප්‍රතික්ෂේප කළ බව පැවසුවාය.
නමුත් වර්තමානය වන විට සෞඛ්‍ය සේවාවන්හි නව සොයාගැනීම්, ප්‍රතිකාර සේවාවන්හි වර්ධනයත්, එමෙන්ම සමාජය තුළ යහපත් කතිතාවක් සිදුවීමත් තුළින් එම ආසාදිතයන්ගේ මානව අයිතිවාසිකම් රැකගැනීම දක්වා මේ වන විට අප වෙනස්ම ස්ථාවරයකට පැමිණ සිටින බව සඳහන් කළේය. මෙය ඉතාමත් ප්‍රශංසනීය තත්ත්වයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය වර්තමානයේ බෝවන රෝග, ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීමේ දී එය කිසිසේත් ම මානව අයිතිවාසිකම් මර්දනය කර ක්‍රියාත්මක නොකළ යුතු තත්ත්වයකට දේශීය වශයෙනුත් ගෝලීය වශයෙනුත් පිළිගැනීමක් ඇතිවී තිබෙන බවද සඳහන් කළේය. මෙහිදී මෙම රෝග වළක්වා ගැනීමට නම් සමාජය අවබෝධයෙන් යුතුව මනා කතිකාවක් තුළින් ක්‍රියාත්මක වීම වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය සේවාවන්ගෙන් පමණක් නොව මනුෂ්‍යත්වය තුළිනුත් මෙම රෝග වළක්වා ගැනීමට හා රෝගීන් රැකබලා ගැනීමට බොහෝ කාර්යභාරයක් ඉටුකළ හැකි බව ද සිහිපත් කළේය.
ආසියාවේ ඒඩ්ස් රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බවත්, විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව රෝගීන්ගේ ප්‍රමාණය සැලකීමේදී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක් වන අතර ඒ සඳහා මෙවැනි ක්‍රියාකාරකම් බෙහෙවින් හේතු සාධක වන බවත් මෙම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.
ගෙවුණු වසරේදී ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩිවීමක් වාර්තා වූ බව පෙන්වා දුන් අතර එම තත්ත්වය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ඇති බව අවධාරණය කළේය.
ඒ අනූව රෝගීන් හදුනා ගැනීම, රෝග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම යන සෑම ක්ෂේත්‍රයකටම දැඩි අවධානයකින් මැදිහත්වීමක් කළ යුතු කාලය එළැඹ තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.
තවද රෝගීන් හඳුනා ගැනීමේදී සහ ප්‍රතිකාර කිරීමේදී ඔවුන්ගේ ගරුත්වය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීමේ ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මෙන්ම ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය (FPA), එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) යන ආයතනවල සහයෝගීතාවයෙන් මෙම සැමරුම් උත්සවය, දැනුවත් කිරීමේ වැඩසටහන සහ පාගමන සංවිධානය කර තිබිණි.