ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ඇමති හා ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර විශේෂ හමුවක්

    දෙසැම්බර් 10, 2024

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා මහතා අතර විශේෂ හමුවක් ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

    ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය ඉතා ශක්තිමත් මිත්‍රත්වයක් බවත්, චීන රජයේ සහය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට සෑම ක්ෂේත්‍රයක් සදහාම ලබා දෙන බවත්, ඉදිරියටත් එම සහය අඛණ්ඩව ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා එහිදී අවධාරණය කළේය.
    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව චීන තානාපතිවරයා සමග පැවති පළමු හමුව මෙය වන අතර චීන රජයේ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය.
    අඩු පිරිවැයකින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීමට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයනු ලබන මානුෂීය වැඩපිළිවෙළ ඇගයීමට ලක්කරන බවද තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
    ශ්‍රී ලංකාවට කුමන අභියෝගයක් පැමිණයද චීන රජය ඒ වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද, විශේෂයෙන් කොවිඩ් වසංගත සමයේ ලැබුණු සහයෝගය ඉතා ප්‍රශංසනීය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල, පොලෝන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල වැනි ප්‍රදානයන් මෙරටට ලබාදුන් චීනය රජයටත්, එරට ජනතාවටත් සිය ස්තූතිය මෙහිදී පුදකර සිටියේය.
    මේ මස 21 වැනිදා සිට 28 වැනි දින දක්වා චීන මහජන නාවික හමුදාවේ රෝහල් නෞකාව (සාම නැව) කොළඹ වරායේ නැංගුරම්ලෑමට සැලසුම්කර ඇති බවත් එහි පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කණ්ඩායමක් මෙරට විශාල රෝගීන් ප්‍රමාණයකට පුළුල් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අපේක්ෂා කරන බවද මෙහිදී චීන තානාපතිවරයා පැවසීය.
    මෙම හමුවේදී චීන තානාපතිවරයා විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය සඳහා යෝජනාවන් මාලාවක්ද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේය.
    මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහත්ම මහත්මීන්ද චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya