ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සැබෑ කළණ මිතුරෙකු ලෙස නේපාලයට දැක්වූ සහයට ශ්‍රී ලංකාවට තුති පුදති

    මැයි 01, 2015
    සැබෑ කළණ මිතුරෙකු ලෙස දැක්වූ සහයට නේපාල ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් තුති පුදති විපතට පත් අවස්ථාවේ සැබෑ කළණ මිතුරෙකු ලෙස  ඉදිරියට පැමිණ ශ්‍රී ලංකාව නේපාලයට දැක්වූ සහයෝගයට නේපාල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ශ්‍රී ලංකාවට තුති පුදති. 
     
    නේපාල ජනතාව මුහුණ දුන් මෙම ඛේදනීය සිදුවීම සැල වූ මොහොතේ ම එම ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ලබාදිය හැකි සෑම සහයක් ම ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කළහ.
     
    එමෙන්ම නේපාල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් තම බලවත් කණගාටුව ප්‍රකාශ කළේය.
     
    අසීරු අවස්ථාවේ තමන් වෙත ලබාදුන් සහයත්, හෘදයාංගම බවත් තමන්ට අතිමහත් ශක්තියක් වූ බවද නේපාල ජනාධිපති රාම් බරන් යාදේව් මැතිතුමා ප්‍රකාශ කළේය. විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට නේපාලයට ගිය ආපදා කළමණාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස හමු වූ අවස්ථාවේදී නේපාල ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.
     
    නේපාලය වෙත ශ්‍රී ලංකාවේ සහෝදරත්වය ප්‍රකාශ කරලීම සඳහා පැමිණි මෙම දූත පිරිසට නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, නැගෙනහිර පළාත් සභා විපක්ෂ නායක දයා ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිවි. එම්. සෙනෙවිරත්න, විදේශ අමාත්‍යංශයේ සාර්ක් කලාපීය අධ්‍යක්ෂ ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න යන මහත්වරුද ඒ අතර වේ. 
     
    ශ්‍රී ලංකා නියෝජිත පිරිස හමුවෙමින් නේපාල ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවෙන් පැමිණි සහන සේවා කණ්ඩායම් සේවය කරනුයේ ඉතාම දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති ඩොලල්ගාර්ට් නගරය ආශ්‍රිතව බවයි. ගෙවුණු දින කිහිපය තුළ එම නගරයේ පසු කම්පන ගණනාවක් ඇති වූ බවත්, එවැනි අනතුරුදායක පසුබිමක ශ්‍රී ලාංකික සහන සේවා කණ්ඩායම් නොපැකිලිව ක්‍රියා කිරීම අගය කළ යුතු කරුණක් බවද නේපාල ජනාධිපතිතුමා පැවසීය. 
     
    කත්මණ්ඩු නගරයේ රැදී සිටි කෙටි කාලය තුළ නේපාල අග්‍රාමාත්‍ය සුෂිල් කොයිරාළ මහතා හමු වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් සහෝදරත්වයේ පණිවිඩය නේපාල අග්‍රාමාත්‍යතුමා වෙත දැන්වූහ. 
     
    එහිදී නේපාල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස නේපාලයටම පැමිණ තම ශෝකයත් සහයත් පළ කිරීම දෙරටේ දැඩි ඥාතිත්වය ප්‍රකාශ කිරීමක් බවයි. 
     
    ශ්‍රී ලංකා ජනතාව සෑම විටම සිය සහෝදර රටක ජනතාව විපතට පත් වූ අවස්ථාවකදී හැකි ශක්ති ප්‍රමාණයෙන් උපරිම සහය දැක්වීම කටයුතු කරන බවද නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ. මේ අවස්ථාවේ තම රට වෙනුවෙන් දක්වන සහයෝගය පිළිබඳ කෘතඥතාවය පළ කළ නේපාල අග්‍රාමාත්‍යවරයා සුනාම්, ගංවතුර වැනි ස්වභාවික විපත් රාශියකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව, ඒ අවස්ථාවන්හිදි ලැබු ඇත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් තම රටට සහය දැක්වීමට කඩිනමින් ඉදිරිපත්වීම ඉතා වැදගත් කොට සළකන බවද ප්‍රකාශ කළේය.
     
    නේපාල ජනතාවගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්, භූමිකම්පා විපතින් පීඩාවට පත් ව සිටින සහ පසු කම්පන ගණනාවක් සිදුවෙමින් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නේපාලය වෙත ඒවා, කඩිනම් අවශ්‍යතා පිළිබඳ සොයා බැලීමට කටයුතු කිරීම පිළිබඳ කොයිරාළ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ස්තූතිය පළ කළේය.
     
    නේපාල අගනුවර කත්මණ්ඩු නගරයට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටා ඇති ඩොලල්ගාර්ට් නගරය ආශ්‍රිත ව ශ්‍රී ලංකා සහන සේවා කටයුතු සිදු කරනුයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් මෛත්‍රි ඩයස් මහතාගේ මෙහෙයවීම යටතේය.
     
    ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya