ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සර්ව පාක්ෂික සමුළුවේ වැදගත්කම එහි නියෝජිතයෝ අවධාරණය කරති

    ඔක්තෝබර් 23, 2015

    තම ස්ථාවරයන්ගේ පරස්පරතාවයකින් තොරව සර්ව පාක්ෂික සමුළු කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූ නියෝජිතයින් අවධාරණය කරති.


    තම ස්ථාවරයන්ගේ පරස්පරතාවයකින් තොරව සර්ව පාක්ෂික සමුළු කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඒකමතිකව අවධාරණය කරමින් ජිනීවා යෝජනා පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ පළමු සැසිය අවසන් වේ.

    ජිනීවා යෝජනා පිළිබඳ සර්ව පාක්ෂික සාකච්ජාව ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළුව පක්ෂ 23 ක් සහ තවත් විශේෂ නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.

    සර්ව පාක්ෂික සමුළුව අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහීදී සියලු පක්ෂවල ඉල්ලීම වූ අතර ඒ අනුව තවත් සති තුනකින් ඊළඟ සැසිය පැවැත්වීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරන ලදී.

    මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවීම පිළිබඳව සාකච්ඡාවට සහභාගී වූ සියලු දේශපාලන පක්ෂ වල නියෝජිතයින් ජනාධිපතිතුමාට සිය ස්තුතිය පළ කළ අතර සමුළුවේ අඛණ්ඩව ඉදිරියේදී පැවැත්වීමටද ජනාධිපතිතුමා වෙත ඉල්ලීම් සිදු කරන ලදී.

    ඊට අමතරව ඉදිරි සති 2 තුළ මේ පිළිබඳ පක්ෂවල යෝජනා ජනාධිපතිතුමා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමටද එකඟතාවය පළ විය.

    පක්ෂ නියෝජිතයින් විසින් එළිදැක්වූ මතයන් සැකවින් පහත දැක්වේ.

    විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා

    ජිනීවා යෝජනා සම්පූර්ණ ලෙසත්, අවංක ලෙසත් කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා සිටිනු ලැබීය.

    අතීත ආණ්ඩු විසින් එවකට සමාජගත වූ මධ්‍යස්ථ දෙමළ මතය පිළිගෙන කටයුතු කළේ නම් ඊළාම් සටන් පාඨයට පමණක් නොලැබෙන්නට ඉඩ තිබුණු බව ඔහුගේ අදහස විය.

    එසේම අද වන විට එල්.ටී.ටී.ඊ ය හෝ ඊළාම් සටන් පාඨය නොමැති තත්ත්වයක් තුළ නැවත වරක් දෙමළ ජනතාව එක්සත් සහ නොබෙදුනු ශී‍්‍ර ලංකාවක් තුළ අනාගතය දකින්නට කටයුතු කරමින් සිටින බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා

    ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රයක් තුළ කටයුතු කරනවා වෙනුවට දේශීය න්‍යාය පත‍්‍රයක් තුළ කටයුතු කරමින් මෙම අභියෝගය සඳහා විසඳුම් සොයාගත හැකි බව ප‍්‍රකාශ කරන ලදී.

    එසේම එකී විසඳුම් පවතින ව්‍යවස්ථා රාමුව තුළ ගොඩනැගිය යුතු බව ඔහුගේ අදහස විය.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මතය නිමල් සිරිපාල ද සිල්වා මහතා

    ජාත්‍යන්තරය නොමැතිව ගෝලීයකරණය වූ ලෝකයක යම් රටකට ඉදිරියට යා නොහැකි බවත් ජිනීවා යෝජනා පිළිබඳ කි‍්‍රයාදාමයේදී හානියට පත් සියලු දෙනාට සාධාරණයක් ඇති කිරීම සඳහා සංහිඳියාව අරමුණු කොටගෙන කටයුතු කළයුතු බවත් පවසන ලදී.

    දැනට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹී ඇති ජිනීවා යෝජනා පිළිබඳ කි‍්‍රයාදාමය නිවැරැදි බව ජාත්‍යන්තරය පිළිගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

    එසේ නමුත් අප ජාත්‍යන්තරය කියන්නා වූ සෑම දෙයම එළෙසින්ම පිළිනොගත යුතු බවත් අපගේ විසදුම් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකළ යුතු බවත් පවසන ලදී.

    අප ජාත්‍යන්තරය පිළිබදව හුඹස් බියක් ඇති නොකරගත යුතු බවත් වගවීමේ කි‍්‍රයාවලිය අපගේ අවශ්‍යතා අනුව සිදුකළයුතු බවත් ඔහු අවධාරණය කරන ලදී.

    ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා

    අභ්‍යන්තර ප‍්‍රශ්ණ ජාත්‍යන්තරකරණය වීමට ඉඩ දීම අනවශ්‍ය බවත් අපගේ නොසැළකිලිමත් භාවය නිසා මේ වන විටත් රටේ අභ්‍යන්තර ප‍්‍රශ්ණය ජාත්‍යන්තරකරණය වී ඇති බව පෙන්වා දුන්නේය.

    මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම රාජ්‍යයේ වගකීමක් නිසා ජනතා විමුක්ති පෙරමුණ වින්දිතයන්ට යුක්තිය සපයන, පාරදෘශ්‍ය පූර්ණ දේශීය පරීක්ෂණයකට සහයෝගය දක්වන බවත් කියා සිටියේය.

    එසේම සත්‍ය සෙවීමේ කොමිසමක් අවශ්‍ය බවත් දඩුවම් ලබාදීමට නොව ජාතික සමගිය නැංවීමට සහ අනාගතයේදී මෙවැනි ඛේදවාචක නැවත ඇති නොවීම පදනම් කරගත් ප‍්‍රවිෂ්ටයක් ඒ සඳහා අවැසියැයි අවධාරණය කරන ලද අතර ඊට අමතරව වෙනස්කම් පිටුදැකීම සඳහා කොමිසමක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

    ජාතික හෙළ උරුමයේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ

    ඉන්දියානු ජාතික නායක මහත්මා ගාන්ධිගේ මතයක් උපුටා දක්වමින් නිවසක් තුළට සුළං හැමීම සඳහා සියලු ජනෙල් විවෘත කිරීමට පියවරගත යුතු නමුත් නිවස තුළ පවතින ඇදුම් පැළදුම් එකී සුළගින් ගසාගෙන යාමට අප ඉඩ නොහැරිය යුතු බව සඳහන් කළේය.

    ජිනීවා යෝජනා පිළිබඳ අපගේ ප‍්‍රවිෂ්ටය ඉහත කී මහත්මා ගාන්ධිගේ උපුටා දැක්වීමට සමාන බවත්, එකී යෝජනා කි‍්‍රයාත්මක කළ යුත්තේ අප රටේ ජනතාවගේ එක්සත් භාවය, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් කියා සිටියහ.

    එවැනි ප‍්‍රවිෂ්ටයක් තුළ රණවිරුවාගේ කි‍්‍රයාකාරිත්වය නීති විරෝධි නොමැති බැවින් එකී කි‍්‍රයාවන් නීතිගරුක බව උන්වහන්සේ තවදුරටත් අවධාරණය කරන ලදී.

    ඊ.පී.ඩී.පී – ඩග්ලස් දේවානන්දා මහතා

    දරුවෙකු ඉපදීමට වින්නඹු මාතාවක් සහාය දක්වන අතර දරුවා ඉපදීමෙන් පසුව එකී වින්නඹු මාතාව විසි කර දැමීමට කටයුතු නොකළයුතු බව සිහිපත් කළේය.

    කොමියුනිට්ස් පක්ෂය වෙනුවෙන් ඩිව් ගුණසේකර මහතා

    ජිනීවා යෝජනා සදහා විසදුම් සෙවීමේදී පදනම් තුනක් මත කටයුතු කළ බව අවධාරණය කළේය. ඒවානම් රටේ ස්වාධිපත්‍ය, ලෝක බල තුලනය මත පදනම් වන විදේශ ප‍්‍රතිපත්තිය සහ ජාතික සමගිය සහ සංහිදියාවයි.

    ජිනීවා යෝජනා පිළිබඳව කතා කිරීමේදී අප අතීතයද සළකා බැලිය යුතු බවත් උගත් පාඩම් පිළිබඳ කොමිසම හමුවේත් යුද්ධය පවතින සමයේදීත් මෙකී ප‍්‍රවිෂ්ටයම කොමියුනිටිස් පක්ෂය ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

    මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා

    මෙකී සර්ව පාක්ෂික සමුළුව සඳහා නිසි ව්‍යුහයක් ගොඩනගන ලෙසටත් නිරතුරුවම සර්ව පාක්ෂික සමුළුව සහ එහි නියෝජිතයින් හමුවී විසඳුම් ගොඩනැගීමට කි‍්‍රයා කළයුතු බවයි.

    එහිදී ප‍්‍රධාන ප‍්‍රවිෂ්ටයන් ලෙස ජාතික ප‍්‍රශ්ණයට දේශපාලන විසඳුමක්, නැවත පදිංචිය සඳහා වන බාධා ඉවත් කිරීම සහ එකගවන්නාවූ කාල වකවානුවක් සඳහා සත්‍ය ගවේෂණය යන කරුණු සැළකිල්ලට ගතයුතු බවත් සඳහන් කරන ලදී.

    ටෙලෝ පක්ෂය වෙනුවෙන් සෙල්වම් අඩෙයිකලනාදන් මහතා

    යුක්තියේ නිර්ණායක වන්නේ දෙමළ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට ඇති හැකියාව බව ප‍්‍රකාශ කළේය.

    එසේම මෙවැනි කි‍්‍රයාවලියක් තුළ සත්‍ය සොයන කොමිසමක් ඉදිරියේ සාක්ෂි ලබාදෙන පුද්ගලයන්ට ආරක්ෂාව සහ විශ්වාසය ලබාදීම සදහා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ප‍්‍රබල නීති හඳුන්වාදිය යුතු බව සදහන් කළේය.

    මනෝ ගනේෂන් මහතා

    ආයුධ අතහැර ප‍්‍රශ්ණ විසඳා ගැනීමට සමාජයක් පෙළඹවීම දියුණු තත්ත්වයක් බවත්, අපට නැවත ත‍්‍රස්තවාදය වෙත ගමන් කළ නොහැකි බැවින් මධ්‍යස්ථ මාවතක වර්තමාන දේශපාලනය ගමන් කළයුතු බවත් අවධාරණය කළේය.

    ඒ නිසා අන්තවාදයෙන් මධ්‍යස්ථ දේශපාලන මත දරන්නන් ආරක්ෂා කළයුතු නිසා ඉතිහාසයට විසඳුම් සෙවීමේදී අනාගතය විනාශ නොකරගත යුතු බවත් දකුණේ පක්ෂ උතුරේ මධ්‍යස්ථ පක්ෂ සමඟ කටයුතු කරන්නට කාලය එළැඹී ඇති බවත් සඳහන් කළේය.

    එසේම අතීතය සමග ගනුදෙනු කිරීමේදී පළිගැනීමේ හා දඩුවම් ලබාදීමේ ප‍්‍රවිශ්ටයෙන් ඉවත්විය යුතු නිසා ඒ සදහා සියලු පක්ෂ සම්මුතියකට එළැඹිය යුතු බවත් ප‍්‍රකාශ කළේය.

    බලය බෙදීම සහ ජනවාර්ගික ප‍්‍රශ්ණයට විසදඳුමක් සෙවීම සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපතිවරයා වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් සංහිදියාව අපගේ සංස්කෘතියට අනුකූලව ගොඩනැගිය යුතු හෙයින් බටහිර ජාතින්ගේ යුක්තිය පිළිබද අදහස වූ , දතට – දතක් , යන ප‍්‍රවිශ්ටය මත පදනම් වූ පළිගැනීම පසෙකට දමා අතීතය සමඟ ගනුදෙනු කිරීමට යාන්ත‍්‍රයක් ගොඩනැගිය යුතු බව සඳහන් කළේය.

    එසේම ස්වෛරීභාවය, නිදහස පදනම් කරගෙන අපගේම වූ යාන්ත‍්‍රණයක් ගොඩනැගීමත් විදේශ උපදෙස් සීමා කිරීමටත් සැමවිටම එකගතාවය මත කටයුතු කිරීමටත් වගබලාගතයුතු බව සඳහන් කළේය.

    එහිදී එල්.එල්.ආර්.සී, උදලාගම හා පරණගම වාර්තා උපයෝගිකරගත යුතු බවත් අතීතය ගොඩදැමීම වර්තමානයේ සංහිදියාවට බාධාවක් නොවිය යුතු බවත් සඳහන් කළේය.

    මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා

    මෙකී සාකච්ඡාව ජිනීවා යෝජනා එළිදක්වන්නට පෙර සිදු කළේ නම් වඩා ප‍්‍රායෝගික වන්නට ඉඩ තිබූ බව සඳහන් කළේය.

    කෙසේ නමුත් ජාත්‍යන්තර අනුකරණවාදී සැළැස්මක් කි‍්‍රයාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳ ප‍්‍රශ්ණයේදී එවැනි අනුකරණවාදයකට තමන් විරුද්ධ හෙයින් අප විසින් දේශිය යාන්ත‍්‍රණයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවත් පැවසීය.

    එහිදී වැරදි සිදුවී ඇත්නම් දඩුවම් ලබාදිය හැකි බවත්, නමුත් හමුදාවට දඩුවම් ලබා නොදිය යුතු බවත් හමුදාවේ කැපවීම හා පරිත්‍යාගය අප කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතු බවත් සඳහන් කරන ලදී.

    එසේම යෝජනාවේ අන්තර්ගත බොහෝ කරුණුවලට පිළිතුරුදීම සදහා අප විසින්ම නිර්මාණය කරන ලද කොමිසන් සභා භාවිතා කළයුතු බවත්, නිදහස් රටක් තුළ ජාත්‍යන්තර යාන්ත‍්‍රණ බිහි කිරීම වැරදි බවත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya