ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය අමාත්‍යංශයේ ‘උඳුවප් මිහිර‘ නත්තල් උත්සවය උත්කර්ශවත් අන්දමින් Featured

    දෙසැම්බර් 17, 2015

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ ‘උඳුවප් මිහිර‘ නත්තල් සැමරුම් උත්සවය අද (17) පස්වරුවේ ඉතා උත්කර්ශවත් අන්දමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස කතෝලික සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමා ද සහභාගී විය.

     

    ‘මනුලොව දරුවන් සුරක්ෂිත කර ගනිමු‘ යන තේමාව යටතේ මෙය පැවැති අතර අමාත්‍යාංශ නිලධාරීන්ගේ පවුල්වල දරුදැරියන් රැසක් උත්සව අවස්ථාවට එක්වූහ.

     

    මෙහිදී අමාත්‍යංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නත්තල් කැරොල් ගායනා ඉදිරිපත් කළ අතර පැමිණ සිටි අමාත්‍යංශ නිලධාරීන්ගේ දරුවන් පිනවීමට නත්තල් සීයාගේ විශේෂ රංගනයක් ද ඉදිරිපත් කෙරිණි. සහභාගී වූ දරුවන් වෙනුවෙන් විශේෂ ත්‍යාග පිරිනැමීමට ද මෙහිදී කටයුතු කර තිබුණි.

     

    උත්සව සභාව ඇමතූ සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ දරුවන් පිළිබඳ විශාල වගකීමක් ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු බවත් වත්මන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යන් හි උපරිම පැයවල දී දරුවන් වෙනුවෙන් කිසිඳු වැඩසටහනක් හෝ ටෙලි නාට්‍යක් විකාශනය නොවන බවත් පවුල් සබඳතා, ගැටුම් ආදී වැඩිහිටියන් අරඹයා නිර්මාණය වූ ටෙලි නාට්‍ය පමණක් විකාශනය වීම දක්නට හැකි බවත් ය. එම වැඩිහිටි ටෙලි නාට්‍ය නරඹන දරුවන් වැඩිහිටියන් වීමට පළමුව ළමා වයසේදී ම වැඩිහිටියන් බවට පත් වන බවත් එය ඉතා ප්‍රබල ව්‍යසනයක ලකුණු කියා පාන බවත් පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    සිරිල් ගාමිණී පියතුමාගේ එම ප්‍රකාශය ඉතා සාධාරණ හා යුක්තිසහගත සත්‍යයක් ලෙස පිළිගත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා උත්සව සභාව අමතමින් පැවසුවේ දරුවන් තුළින් දෙවියන් දකින්නට පුළුවන් බවත් වැඩිහිටියන් ලෙස අප දරුවන් දිව්‍යමය සම්පතක් ලෙස සළකා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩකටයුතු කළ යුතු බවත්ය. කිතුණු දහමේ ද ජේසුස් වහන්සේ දරුවන්ට විශේෂ තැනක් ලබා දුන් බව වැඩිදුරටත් පැහැදිලි කළ පරණවිතාන මහතා දරුවන් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

     

    උත්සවය අමතමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ නත්තල යනු සාමයේ සංහිදියාවේ තවත් එක් විශේෂ ආගමික උත්සවයක් බවත් බහුජාතික රටක ජනතාව ලෙස අප බෞද්ධ, කතෝලික, හින්දු සහ මුස්ලිම් යන සෑම ආගමකම උත්සව අප එකට එකතුව සාමයෙන් සැමරීම සිදු කළ යුතු බවත් ය.

     

    මේ අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව හා අමාත්‍යංශ අතිරේක ලේකම්තුමිය, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දර්ශනී ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීන් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya