ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චීන ව්‍යාපාරික සමුළුව අමතයි

    අප්‍රේල් 08, 2016
    ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට යළි පත්වීම ශ්‍රී ලංකාවේ අභිමතාර්ථය බව අවධාරණය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම උදෙසා, මූල්‍ය ප්‍රතිපත්ති තව තවත් නිදහස් කරලීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, ඒ පිළිබඳ සවිස්තර තොරතුරු එළැඹෙන ජූනි මාසයේ එළිදක්වන බවත් පැවසීය.
    වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්වූයේ 08 වන දා පෙරවරුවේ චීනයේ බෙයිජිං නුවර චයිනා වර්ල්ඩ් හෝටලයේ පැවැති චීන ව්‍යාපාරික සමුළුව අමතමිනි.
     
    චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන සභාව (China council for the International Promotion Trade) සංවිධානය කළ මෙම සමුළුව සඳහා චීනයේ මුල් පෙළේ ව්‍යාපාරික හා ව්‍යවසායක ආයතන නියෝජනය කරන නියෝජිත පිරිස් සියයකට අධික පිරිසක් සහ චීනය සමග ව්‍යාපාරික කටයුතු වල නිරත වන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් කීප පලක් ද සහභාගී වූහ.
     
    එහිදී සමුළුව අමතමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක්, සේවා සැපයුම් මධ්‍යස්ථානයක් හා අගය එකතු කිරීමේ වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාව පෙරට ගෙන ඒමට අපේක්‍ෂා කරන බවයි.
     
    2015 ජනවාරි මාසයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු, ශ්‍රී ලංකාව නව මාවතකට අවතීර්ණ වී ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, එතැන් පටන් මේ දක්වා රටේ ප්‍රධාන පක්‍ෂ දෙක එකට එක්ව රට වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි කර ඇති බව ද පැවසීය.
     
    ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් වරට, ප්‍රධාන පක්‍ෂ දෙකේම නියෝජිතයන් පිරිසක් එක් රාජ්‍ය දූත කණ්ඩායමකට ඇතුළත්ව චීනයට පැමිණීම ශ්‍රී ලංකාවේ නව ගමන පිළිබිඹු වන කදිම උදාහරණයක්  බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
    අතීතයේ වැඩි අවධානයක් යොමු කෙරුණේ දෙරටේ රාජ්‍යයන් අතර සිදු කෙරුණු ව්‍යාපෘතීන්ට වුවත්, අනාගතයේ දී රාජ්‍ය හා පුද්ගලික හවුල් ව්‍යවසායන් මෙන්ම පුද්ගලික අංශයේ ව්‍යවසායන් වෙත යොමු විය යුතු බව ද, ඒ සඳහා අවශ්‍ය පරිසරය ශ්‍රී ලංකාවේ සැකසී ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
     
    සමුළුව අමතමින් විශේෂ ව්‍යාපෘති ආමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ව්‍යාපාරික කටයුතු පමණක් නොව, සංචාරක පැමිණීම සහ ගුවන් ගමන් වාර වසරෙන් වසර වර්ධනය වී ඇති බවය.
    ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම, ස්වාභාවික හා මිනිස් සම්පත් සහ ව්‍යාපාර මිත්‍රශීලී පරිසරය හේතුවෙන් විදේශීය ආයෝජන සඳහා පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමේ හැකියාව ගැන ද අමුණුගම මහතා සඳහන් කළේය.
     
    චීන ජාතන්තර වෙළඳ ප්‍රවර්ධන සභාවේ සභාපති  ජියැං ඡෙංවෙයි (Jiang Zengwei) සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂීයැංන්ලියං යන මහත්වරුන් සහ චීන සීඒඑම්සී ඉංජිනියරින් සමාගමේ (China CAMC engineering co ltd) සභාපතිනි හා අධ්‍යක්‍ෂ ජනරාල් ලූඔ යැන් (Luo Yan) මහත්මිය ද මෙම සමුළුව ඇමතූ අතර, සහභාගීවුවන්ට ප්‍රශ්න ඇසීමේ කාලයක් ද වෙන් කර තිබිණි. 
     
    විදේශ අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙහිදී පැහැදිලි කිරීම් කළහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya