ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පසුගිය වසර වඩා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

    ජූලි 03, 2016

    ඩෙංගු වසංගතය දිස්ත‍්‍රික්ක 11 කට පැතිර ගොස් තිබෙන අතර මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව ගන්නා නීතිමය පියවර දැඩි කිරීමේ යෝජනාවක් ගෙන ආ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම පිළිබදව විශේෂ රැස්වීමක්  සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය වැඩබලන අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ පසුගියදා කොළඹ හෙක්ටර් කොබිබෑකඩුව ගොවි පර්යේෂණායතන ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ඩෙංගු මර්දන වැඩසටහන සියලුම පළාත් පාලන ආයතනවල සහභාගීත්වයෙන්  ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව ගන්නා නීතිමය පියවර තව තවත් දැඩි කළ යුතු බවත්, ඒ අනුව එලෙස මදුරුවන් බෝවන ලෙස පරිශ‍්‍ර පවත්වාගෙන යන්නන් රිමාන්ඩි භාරයට ගැනීම දක්වා එම නීති දැඩි කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඩෙංගු උවදුර සිංගප්පුරුව, මැලේසියාව හා තායිලන්තය වැනි රටවල ද මේ දිනවල දක්නට ලැබෙන අතර සිංගප්පුරුවේ මේ වනවිට රෝගීන් 10,000 ක් සොයාගෙන තිබෙන අතර මෙරටේ 2016 අද දිනය වන විට රෝගීන් 21,000 ක් හමුවී තිබෙන බව ජාතික ඩෙංගු මරදන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

    එහිදී මරණ 35 ක් සිදු වන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

    අද වනවිට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පමණක් රෝගීන් 6,000 ක් වාර්තා වී තිබෙන අතර නාගරික ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇති මෙම වසංගත තත්ත්වය ඉදිරියේ දී ග‍්‍රාමීය ප‍්‍රදේශවලටත් බලපෑම් අවදානමක් මතුව විය හැක. 2015 සහ 2016 වසර සසැදීමේ  දී මේ  වසරේ රෝගීන් 5000 ක වැඩිවීමක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් හසිත තිසේරා මහතා වැසි සහිත කාලගුණය තවදුරටත් පැවැතිය හොත් මෙම තත්ත්වය තවත් දරුණු විය හැකි බව ද පැවසීය.

    කීටවිද්‍යා සමීක්ෂණවලට අනුව ඉවතලන භාණ්ඩ, ජලය එක්රැස් කිරීමට යොදා ගන්නා භාජන, ඉදිකිරීම් මධ්‍යස්ථාන හා කන්ටේනර්වල ද, ආගමික ස්ථානවල ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන බවත් පෙරේදා සිදු කළ සමීක්ෂණවලට අනුව ඉදිකිරීම් ස්ථානවලින් සියයට 90 ක් සහ ප‍්‍රධාන පාසල්වල ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දක්නට ලැබුණු බවත් ඒ මහතා සඳහන් කළේය.


    2016 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන් වල දී පරිශ‍්‍ර ලක්ෂ 10 ක් පරික්ෂා කර ඇති අතර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලක්ෂ 02 ක් සොයාගෙන තිබේ. පසුගිය සතියේ පටන් ධූමායන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

    ඊයේ කීට විද්‍යා පාසලේ නිලධාරීන් සහ සිසුන් විසින් කොළඹ නගරයේ ඉදිකිරීම් කළාප සහ ප‍්‍රධාන පාසල් පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී මදුරුවන් බෝවන ස්ථාන රැසක් සොයාගෙන තිබේ.  කසල බැහැර කිරීමේ විධිමත් ක‍්‍රමවේදයක් නොමැතිවීමත් මේ සඳහා හේතු වී ඇති අතර මේ පිළිබදව ජනතාව දැනුවත් කළ යුතු ය.


    අයි.ඩි.එචි උණ රෝහල, කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු රෝහල්වලට රෝගීන් වාර්තාවීම ද දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ. එමෙන්ම කුරුණෑගල, රත්නපුර, කළුතර වැනි දිස්ත‍්‍රීක්කවල රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, සතියකට රෝගීන් 1500 ක් පමණ වාර්තා වේ. ඩෙංගු රක්තපාත තත්ත්වට පත් වූ රෝගීන් රෝහල්වල රදවා තබා ගත යුතු වන අතර මෙම වසංගත තත්ත්වය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, යාපනය, කුරුණෑගල, පුත්තලම, රත්නපුර දිස්ත‍්‍රික්ක 11 තුළ  ව්‍යාප්තව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya